මිල සූත්‍රයෙන් ඉන්ධන මිල වැඩි වුවත් ජනතාවට බරක් දෙන්නෑ


මිල සූත්‍රය අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 8කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 14කින් ඉහළ නැංවිය යුතු වුවද ජනතාවාදී ආණ්ඩුවක් ලෙස පෙට්‍රල් 3කින් සහ ඩීසල් රුපියලකින් ඉහළ නංවමින් එළඹෙන උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහනයක් ලබා දුන් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

එසේ ඉහළ නැංවූයේ නම්, පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137 දක්වාද, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 117 දක්වාද ඉහළ දැමිය යුතුව තිබූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඊයේ (13දා) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල දිගින් දිගටම ඉහළ යමින් පවතින අතර පසුගිය දෙසැම්බර් මාසයේ ඇ.ඩො. 53.8 පැවැති බොර තෙල් බැරලයක මිල අද වනවිට ඇ.ඩො 70.4 දක්වා 30.8% කින් ඉහළ ගොස් තිබෙනවා. රුපියලේ අගය මේ වනවිට ස්ථාවර වෙමින් තිබෙනවා. ඒ නිසා මිල සූත්‍රයට අනුව අපි හැම මාසෙම තෙල් මිල සංශෝධනය කළත්, ජනතාවට දරා ගන්න බැරි මට්ටමේ මිල වැඩිවීමක් වෙනවා නම් අපි රජයක් විදියට ඒ සඳහා මැදිහත් වෙනවා. ළඟඑන උත්සවය සමය පිළිබඳ සලකා බලමින් ඉතාම සුළු ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ නංවන්නට අප තීරණය කළා." යැයි පවසා සිටියේය.



Recommended Articles