පොඩි බෑග් එකකට බඩු ටිකක් ගන්න ලොකු සූට්කේස් එකක් පුරවල සල්ලි ඕන වෙයි -කබ්රාල්


වත්මන් රජය දේශපාලන වශයෙන්ද, ආර්ථික වශයෙන්ද, සමාජීය වශයෙන්ද මේ රටේ සෑම ක්ෂේත්‍රයකම අර්බුද ඇති කරමින් සිටින බවත්, එකී අර්බුද දිනපතා පෝෂණය කරමින්, වර්ධනය කරමින් සෑම දිනකම අලුත් අර්බුදයක් නිර්මාණය කිරීමට දස්කම් දක්වා ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.

හිටපු මහ බැංකු අධිපතිවරයා මෙසේ අදහස් දක්වා ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් පිරිසක් අමතමින් පසුගියදා හම්බන්තොටදී සිදුකළ දේශනයකදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

"මේ රජය හැම පැත්තෙන්ම බදු ගහලා, තවත් බදු ගහනවා. දඩ ගහනවා. මුලින්ම ටයි කෝට් දාගෙන මහ බැංකුවට පැනලා, මහා දවාලේම මහ බැංකුව සුද්ද කළා. එයින් සිදුවූ පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් කියලා, මේ රජයේම ඇමතිවරු කියනවා. 2014 දී, රජයේ සමස්ත බදු ආදායමම රුපියල් කෝටි ලක්ෂයයි. කෝටි ලක්ෂයකින් අපට හම්බන්තොට වගේ වරායන් 07ක් හදන්න තිබුණා. එහෙනම් දිගට හරහට බදු ගහන්නේ ඇයි කියලා දැන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. රජයේ බදු ආදායම කෝටි දෙලක්ෂයක් කරගන්න හදනවා. ඔවුන් එසේ කරන්නේ, තමන් විසින් සිදුකරන ලද පාඩුව පියවා ගන්නට නොවෙයිද?

1996 දී කොටි රැලක් බෝම්බ ගහලා, මහ බැංකුව විනාශ කරන්න තැත් කළත් ඒක සාර්ථක වුණේ නැහැ. නමුත්, 2015 දී අලි රැළක් මහ බැංකුවට ගහලා, මහ බැංකුවයි, සමස්ත ආර්ථිකයයි දෙකම විනාශ කළා. ඒ හරහා රජය සහ සියලුම රට වැසියන් ගෙවන පොලී අනුපාතය සියයට හැටකින් (60%) පමණ වැඩිවුණා. වැඩිපුර පොලිය නිසා පමණක්, ආණ්ඩුවට වසරකට රුපියල් කෝටි 1,000ක විතර පාඩුවක් විඳින්න සිදුවුණා. ඒ වගේම, ශ්‍රී ලංකා රුපියලත් දරුණු ලෙස බාල්දු වුණා. විදේශිකයන් මේ රටේ භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජන විකුණලා පළා ගියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බදු වැඩියෙන් අය කරගන්නා ක්‍රම මේ රජයට කියලා දෙනවා. අපේ රජය ඒ උපදෙස් කියා දුන්නටත් වඩා හොඳින් පිළිපදිනවා. අපි වැඩි වැඩියෙන් ජනතාවට බදු ගහලා, රජයේ ආදායම වැඩිකර ගත්තා කියමින් අපේ නායකයන් කිසිදු ලැජ්ජාවක් නැතිව පුරාජේරු ගහනවා.

වත්මන් රජය ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණනවා. බේබද්දන් මත්පැන් බොන්න මුදල් හොයාගන්න තමන්ගේ ඉඩම් සහ බඩු මුට්ටු විකුණනවා වගේ, මේ රජය අතට හසුවෙන සෑම සම්පතක්ම කුණු කොල්ලයට විකුණනවා. ඒ ද්‍රෝහී ක්‍රියාවට විරුද්ධ වන දේශප්‍රේමී භික්ෂූන් වහන්සේලා සහ ජනතාවට ආරක්ෂක අංශ යොදමින් බැටන් ප්‍රහාර එල්ල කරනවා. කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනවා. ආරක්ෂක අංශවල ඉහළම නිලධාරීන් කිසිදු හිරිකිතයකින් තොරව ප්‍රසිද්ධියේම අහිංසක ජනතාවට අතින් පයින් ගහන ආකාරය අප රූපවාහිනියෙන් දකිනවා. ඔවුන් නීතිය අමුඅමුවේ නමනවා. ළාබාල ශිෂ්‍යයන් ඇතුළු අහිංසකයන් හිරේ දමනවා. රටේ හොඳම සම්පත්, උදාහරණයකට උපායමාර්ග සම්පතක් වන හම්බන්තොට වරාය කුණු කොල්ලයට විකුණමින්, ඒ සඳහා චෙක්පතක් ලැබුණු විට මහා ලොකු වැඩක් කළා වගේ ඒ චෙක්පත් පෙන්වමින් පින්තූර ගන්න තරම් මේ අය මෝඩ වෙලා.

මොවුන් රටට ඉතා අහිතකර වෙළෙඳ ගිවිසුම්වලට එළැඹෙනවා. අප රටේ සංස්කෘතික උරුමයන් සහ ආර්ථික පදනම එළිපිට සහ අමු අමුවේ පාවා දෙමින්, ඊනියා වෙළෙඳ ගිවිසුම්වලට අද කඩිමුඩියේ එළැඹෙනවා. අප රටට ආර්ථිකමය වශයෙන් පාඩු වන විදියට සහ වෙන රටවල්වලට වාසි වන විදියට හිතාමතාම වෙළෙඳ ගිවිසුම් මේ අය ගහනවා. හොර රහසේ ඒවා සාකච්ඡා කරනවා. විදේශ රටවලට සහ එන්.ජී.ඕ. කාරයන්ට අවශ්‍ය වන විදියට පිඹුරුපත් හදනවා. රටට ආදරය කරන කිසිම කෙනෙකුට මේ සාකච්ඡාවලට යන්නටවත් මේ අය ඉඩදෙන්නේ නැහැ. ඒ නිසා ඒ සියලුම ගිවිසුම් අප රටට සහ අප ජනතාවට අහිතකර විදියටයි, සිදු කෙරෙන්නේ.

සිංගප්පූරුව සමග ශ්‍රී ලංකාව එළැඹී ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමත් අපේ රටට ඉතා භයානකයි. සිංගප්පූරුව සමග මේ ගිවිසුම අත්සන් කළේ 2018 ජනවාරි 23 වැනිදායි. එහෙත් රජය මේ ගිවිසුම ජනතාවට එළිනොදක්වා ඉතා රහසිගතව 2018 අප්‍රේල් 07 වැනිදා තෙක් එය සඟවා ගත්තා. විවිධ වෘත්තිකයන් දිගින් දිගටම එය එළිදක්වන ලෙස රජයට බලකර සිටි නිසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ නීතිමය පියවර ගැනීමට සූදානම් වනවිට ඉතා අකැමැත්තෙන් එය මාධ්‍යයට නිකුත් කළා. මේ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ භූමියද, ශ්‍රී ලංකාවට වෙන්වී ඇති සම්පූර්ණ මුහුදු සීමාවද, ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපයද ඇතුළු සියලු ගොඩබිම් සහ මුහුදුකරය සිංගප්පූරුවට විවෘත කර තිබෙනවා. එහෙත්, සිංගප්පූරුව ඉතා කුඩා භූමි ප්‍රදේශයකින් සමන්විත රටක් වුවත්, ඔවුන් විවෘත කර ඇත්තේ රජයට හිමි ඉඩම් හැර සෙසු ඉඩම් පමණයි.

මේ ගිවිසුම යටතේ ඕනෑම සිංගප්පූරු ජාතිකයෙකුට සේවය කිරීම සඳහා විවිධ ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට එන්නට පුළුවන්. ඒ සඳහා යම් බාධාවක් පවතින්නේ වෛද්‍ය, ගණකාධිකරණ, නීති සහ මිනුම්දෝරු වෘත්තීන්වලට පමණයි. එහෙත්, යම් ශ්‍රී ලාංකිකයෙක් සිංගප්පූරුවේ සේවය කිරීමට නම්, සිංගප්පූරුවේ බල පැවැත්වෙන සියලුම නීතිරීති සහ රෙගුලාසි සහ අදාළ ක්ෂේත්‍රයේ සුදුසුකම් සපුරාලිය යුතුයි.

ඒ වගේම, මේ ගිවිසුවේ විධිවිධාන ක්‍රියාත්මක කරන විට, එම ගිවිසුම අදාළ වන්නේ ශ්‍රී ලාංකේය පුරවැසියන්ට පමණයි. එහෙත්, ශ්‍රී ලංකාවට පැමිණීමට සිංගප්පූරු පුරවැසියන්ට පමණක් නොවෙයි, සිංගප්පූරුවේ නිත්‍ය පදිංචිකරුවන්ටත් අවස්ථාව තිබෙනවා.

සිංගප්පූරු ජාතිකයෙක් හෝ නිත්‍ය පදිංචිකරුවෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔවුන් යම් ක්ෂේත්‍රයක විශේෂ දැනුමක් ඇති අය හෝ කළමනාකරුවෙකු ලෙස හෝ විධායක නිලධාරියෙකු ලෙස හෝ පැමිණීමට පුළුවන්. එවන් ශ්‍රේණි සඳහා ශ්‍රී ලංකාවේ තවමත් පැහැදිලි නිර්වචනයක් නොකර ඇති නිසා එවන් වචන පාවිච්චි කරමින්, විවිධ පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට පිවිසෙන්නට පුළුවන්. එපමණක් නොවෙයි, සිංගප්පූරුවේ පවත්වාගෙන යන මිනිස් ශ්‍රමික ආයතන (Man-power Services companies) හරහා තවත් බෙහෝ පහළ මට්ටමේ ක්ෂේත්‍රවල සේවය කරන අයටත් කිසිදු බාධාවකන් තොරව, ශ්‍රී ලංකාවේ සේවය කිරීමට පුළුවන්. තවදුරටත් සඳහන් කළොත් ගෘහ සේවිකාවන්, රියදුරන්, දරුවන් රැකබලාගන්නන් (Nannies), නිරූපන ශිල්පීන් (Models), සහායකයන් (Companions), යතුරු ලියන්නන්ටත් (Typists) ශ්‍රී ලංකාවට පැමිණ සේවය කරන්නට අවස්ථාව පවතිනවා.

මේ ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව විසින් සිංගප්පූරුවට අපනයනය කරන භාණ්ඩ රැසක් තීරු බදුවලින් නිදහස් වන බව සඳහන් කර තිබෙනවා. එහෙත්, සැබවින්ම එවැනි ගිවිසුම් තිබුණත්, නොතිබුණත් සිංගප්පූරුවට අපනයනය කරන සියලුම භාණ්ඩ පාහේ ඒ රටට ඇතුල් වන්නේ තීරු බදු රහිතවයි. ඒ නිසා වෙනත් රටවලට සාපේක්ෂව වි‍ශේෂ වාසියක් ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට මේ ගිවිසුම හරහා ලැබෙන්නේ නැහැ. දැනට ශ්‍රී ලංකාවට විවිධ රටවලින් අපනයනය කරන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාව තීරු බදු අය කරනවා. ඒ හරහා ශ්‍රී ලංකා රජයට සැලකිය යුතු ආදායමක් ලැබෙනවා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන්ට යම් විශේෂ වාසියක්ද ලැබෙනවා. ඒ නිසා දේශීය කර්මාන්තවලට යම් රැකවරණයක් ලැබෙනවා. එහෙත්, ඒ තීරු බදු වසර කිහිපයක් තුළ මේ ගිවිසුම හරහා ක්‍රමක්‍රමයෙන් ලිහිල් කෙරෙනවා. ඒ අනුව, සිංගප්පුරුවේ සිට විවිධ භාණ්ඩ රැසක් පහසුවෙන්ම ශ්‍රී ලංකාවට තීරුබදු රහිතව අපනයනය කිරීමට සිංගප්පූරු සමාගම්වලට අවස්ථාව උදාවෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවට විශාල බදු ආදායමක් අහිමි වෙනවා.

මේවායින් පෙනෙන්නේ විවිධ ආකාරයට, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලටද, මධ්‍යම සහ කුඩා කර්මාන්තවලටද, කුඩා ව්‍යවසායකයන්ටද, ශ්‍රමිකයන්ටද, දරුණු පහරවල් මේ නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා එල්ල වන බවයි. බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය අහිමි වන බවයි. බොහෝ ව්‍යාපාර විනාශ වන බවයි. සමස්ත ආර්ථිකයටම දැවැන්ත පහරක් එල්ල වන බවයි.

මේ රජය දැන් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක වුණොත්, අප රටේ රැකියා අවස්ථා සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අනිවාර්යෙන්ම තොග පිටින් නැති වෙනවා. ව්‍යාපාර එකක් මත එකක් දරුණු ලෙස කඩා වැටෙනවා. මූල්‍ය ක්ෂේත්‍රය විනාශ වෙනවා. රුපියල මස්තබාල්දු වෙනවා. ආර්ථිකය විනාශ වෙනවා.

සමහර විට පොඩි ෂොපින් බෑග් එකකට බඩු ටිකක් අරගෙන යන්න (එක් කලක සිම්බාබ්වේ රාජ්‍යයේ සිදුවුණා වගේ) අපේ රටෙත් ලොකු සූට්කේස් එකක් පුරවල සල්ලි ගෙනියන්න වේවි. එතකොට, අපි ඉබේම විදේශ රටවලට ගැති රටක් බවට පත්වේවි. අපේ සෛවරීභාවය නැති වේවි. මෙහෙම ගියොත්, නුදුරු අනාගතයේදී වෙන්න යන දේ භයානකයි. එහෙම නම්, අපේ රට වෙනුවෙන් මේ රජය දැන් යන ගමන හැකි ඉක්මනින් නවතාලීමට අප සියලු දෙනාම කටයුතු කරන්න අවශ්‍යයයි.

වැඩි කලක් යන්නට පෙර ජනතාවගේ අප්‍රසාදය පෙන්වන්නට සාමූහික ක්‍රියාපටිපාටියක් සූදානම් කිරීමට අප සියලු දෙනාම එක්වෙන්න ඕනෙ. අපි එහෙම නොකළොත්, මේ මුරණ්ඩු ආණ්ඩුව අපේ ජනතාව විඳින පීඩනය සහ දුක ගණන් ගන්නේ විහිලුවක් හැටියටයි. ඔවුන් හිතන්නෙ, සෑමදෙනාම බය කර‍ල, මර්ධනය කරල, හිරේ දැමුවාම, ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලයි. අප රටේ ජනතාවගේ අයිතිවාසිකම් සහ උන්නතිය රැකගන්නට නම්, අපට යම් දැඩි ක්‍රියාමාර්ගවලට යන්නට සිදුවන බව අනිවාර්යයි.

දැන් අපේ රටේ ආර්ථිකය විනාශ කිරීමේ සහ ජනතාව මත බදු ගැසීමේ සීමාව ඉක්මවා හමාරයි. මේ අසාධාරණ බදු සහ ගිවිසුම්වලට විරුද්ධව නැගී සිටීමට අප සියලු දෙනාටම කාලය එළැඹිලා. වැඩි දිනක් යන්නට මත්තෙන් මේවාට විරුද්ධව නැගී සිටින්නට අප එකතුව සටනට බහින්න ඕනේ. අවුරුදු 30ක් පුරා ජයගන්නට බැරිවූ දරුණු ත්‍රස්තවාදයට විරුද්ධ සටනට එදා නායකයන් පෙරමුණ ගත්තා වගේ, මේ දූෂිත රජයේ මූල්‍ය ත්‍රස්තවාදයට එරෙහිව රට වැසියන්ගේ සාධාරණ සටනටත් නායකත්වය දෙන්නට අප ඔවුන්ට ශක්තිය දිය යුතුයි. ඒ සටන හරහා මේ හොරකම් කරන හොරු රකින ආණ්ඩුව, අප සියලු දෙනා මත පටවා ඇති බදු අඩු කිරීමේ සහ ඊනියා ගිවිසුම් ගැසීම නතර කිරීමේ සටනට බහිමින්, ඒ සටනත් ජයගන්නට අප සියලු දෙනාම එකාමෙන් පෙළ ගැසිය යුතුයි." යනුවෙන් පවසා සිටියේය.



Recommended Articles