කාඩ්පත් හරහා කරන ගෙවීම් සඳහා නව සීමා පනවා නැහැ


ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිත කරමින් ශ්‍රී ලංකාවෙන් පිට නේවාසික පුද්ගලයන්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්/තහනම් කිරීමක් සිදුකර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබේ.

විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිදු නව සීමාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා නොමැති බවත්, එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිත කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබාදී ඇති බවත් මහ බැංකුව කියයි.

කෙසේ වෙතත් ඇතැම් බැංකු විසින් විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිත කර ගනුදෙනු සිදුකිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවල ප්‍රමුඛතාව ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වාදී ඇති බව මහ බැංකුවේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

ඒ අනුව විද්‍යුත් මුදල් මාරු කාඩ්පත් භාවිත කරමින් නීත්‍යනුකූළව ගෙවීම් සිදුකිරීමේදී යම් දුෂ්කරතාවකට මුහුණපෑමට සිදු වේ නම්, ඊට අදාළ බැංකුව සම්බන්ධ කරගන්නා ලෙසත්, විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



Recommended Articles