CIMA ශ්‍රී ලංකා උපාධි ප‍්‍රදානෝත්සවයෙන්


කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ  ශ්‍රී ලංකා ශාඛාව (CIMA ශ්‍රී ලංකා), 2015 වසරේදී පවත්වන ලද තෙවැනි උපාධි ප්‍රදානෝත්සවය, 'සුදුසුකමේ අදාළතාවට ප්‍රතිනිර්වචනයක්' යන තේමාව යටතේ CIMA සභාපතිනී මිරියම් මැඩන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ බව CIMA ආයතනය පවසයි.

එහිදී, සියලුම විභාග නිමකළ සිසුන් 305 කගේත්, නව CIMA සාමාජිකයන් 131 කගේ සහ නව CIMA සහෝදර සාමාජිකයන් 37 කගේත්, සියලුම විභාග නිමකළ සිසුන් අතරින් ත්‍යාග ලබාගැනීමට සමත් වූ සිසුන් 6 දෙනෙකුගෙත් ජයග්‍රහන සැමරූ බවද එම ආයතනය පවසයි.

CIMA සිසුන්ට, සාමාජිකයන්ට සහ CIMA ශ්‍රී ලංකා ආයතනයට සිය සුබ පැතුම් පුද කරමින් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන ලද CIMA සභාපතිනී මිරියම් මැඩන් මහත්මිය, "මේ උත්සවය පැමිණ සිටින ඔබටත් 50 වසර සමරන CIMA ශ්‍රී ලංකා ආයතනයටත්  ඉතා වැදගත් සංධිස්ථානයක් වනු ඇති. මේ වනවිට ලෝකය පුරා CIMA සාමාජිකයන් 100,000 සිටිනවා. ඒ අතරින් 100,000 සාමාජිකාව ශ්‍රී ලංකාවෙන් බිහිවීම පිළිබඳව විශේෂයෙන්  ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකාව තුළ CIMA කොතරම් අගය කරන්නේද යන්නත්, ඒ හා බැදී ඇති දක්ෂතා හා කුසලතාත් මෙමගින් පිළිබිඹු වෙනවා" යැයි පවසා සිටියාය.

මින් 50 වසරකට පෙර එනම් 1965 දී, අතලොස්සක් පමණ වූ සිසුන් පිරිසක් සමග ආරම්භ කරනලද  කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ  ශ්‍රී ලංකා ශාඛාව (CIMA ශ්‍රී ලංකා) හා මේ වනවිට බැදී ඇති සිසුන් පිරිස 13,363 වන අතර බ්‍රිතාන්‍යයෙන් පිට CIMA සුදුසුකමට ඉහළ ඉල්ලුමක් ඇති වෙළෙඳ පොළ ලෙස ශ්‍රී ලංකාව හඳුන්වදයි. ඒ අනුව, අද වනවිට ශ්‍රී ලංකාවේදී සුදුසුකම ලබාගත් ක්‍රියාකාරී සහ විශ්‍රාමික CIMA සාමාජිකයන් සංඛ්‍යාව 6,340ක් වන අතර තවත් 2,812ක් පමණ වන සාමාජිකයන් සංඛ්‍යාවක් විදේශයන් හි වාසය කරන බවද CIMA ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කරයි.



Recommended Articles