CA වාර්ෂික වාර්තා සම්මාන උලෙළින්


ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් වාර්ෂිකව තෝරාගනු ලබන හොඳම වාර්ෂික වාර්තා සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 9 වැනිදා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.

50 වැනි වරටත පවත්වනු ලැබූ මෙම සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයේදී 2013 හා 2014 වර්ෂයට අදාළව තෝරාගත් හොඳම වාර්ෂික වාර්තාවන් ඉදිරිපත් කළ සමාගම් සහ ආයතන 73ක් සඳහා සම්මාන පිරිනැමීම සිදුවිය. මෙවර මෙම සම්මාන ප්‍රදානය කිරීමේ තරගය සඳහා සමාගම් හා ආයතන 130ක් ඉදිරිපත් වී තිබීමද විශේෂත්වයක් විය.

මෙවර සම්මාන උලෙළේ හොඳම වාර්ෂික වාර්තාවන සඳහා වන රන් සම්මානය ජෝන් කීල්ස් පී.එල්.සී. ආයතනය විසින් හිමිකර ගත් අතර, රිදී සම්මානය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. ආයතනයද, ලෝකඩ සම්මානය සම්පත් බැංකු පී.එල්.සී. ආයතනයද හිමිකර ගන්නා ලදී.

වෙළෙඳ ආයතන සහ සමාගම්වල ගිණුම් වාර්තාවල විනිවිදභාවය ඇති කිරීම සහ කාර්යක්ෂම භාවය ඇතිකිරීම ඇතුළු කරුණු මුල් කරගනිමින් මෙම සම්මාන උලෙළ වාර්ෂිකව සංවිධානය කෙරෙයි.

මෙම අවස්ථාවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා ගණකාධිකාරී ආයතනයේ සභාපති අර්ජුන හේරත් යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාගම් රැසක සභාපතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



Recommended Articles