SLINEX-2018 යුද අභ්‍යාස සඳහා ඉන්දීය නෞකා සහ යානා ඇවිත්


ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාසය (SLINEX – 2018) සඳහා සහභාගී විමට ඉන්දීය නාවික හමුදාවේ නෞකා සහ ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම යුද අභ්‍යාසය හෙට (07දා) සිට 13දා දක්වා ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙතෙක් කලක් සෑම වසර දෙකකටම වරක් පැවති මෙම යුද අභ්‍යාසය මෙම වසරේ සිට වාර්ෂිකව පැවත්වෙනු ඇත. සාගර කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාවය වර්ධනය කරගැනීමට සහ දෙ‍රටෙහි නාවික හමුදාවන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන කටයුතු ශක්තිමත් කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දක්වන උනන්දුව මෙමගින් පෙන්නු‍ම් කෙ‍රෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

මෙවර ඉන්දියාව නියෝජනය කරමින් නෞකා තුනක්, සාගරය ආශ්‍රිත මුර සංචාර ගුවන් යානා දෙකක් සහ හෙලිකප්ටර් යානාවක් සහභාගි වේ. එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ද ප්‍රථම වරට මෙම අභ්‍යාසය සඳහා එක්වීමට නියමිතය. ඒ අනුව, මෙය වරාය අදියර සහ මුහුදු අදියර යනුවෙන් අදියර දෙකක් යටතේ සිදු කෙරේ. දින 6ක් පුරා පැවැත්වෙන මෙම අභ්‍යාසයට ඒකාබද්ධ හමුදා පුහුණු, වෘත්තීමය දේශන, විශේෂඥ දැනුම හුවමාරු කරගැනීම, හෙලිකොප්ටර් සහ සාගර මුර සංචාර ගුවන්යානා මෙහෙයුම්, අවි පුහුණු, සෙවීම් සහ මුදාගැනීම්, නාවික ශාස්ත්‍රීය සහ සාගර යුද උපායන් පිළිබඳ පුහුණුව යනාදිය ඇතුළත් වේ.



Recommended Articles