Disrupt Asia 2018 ව්‍යවසායකත්ව වර්ධනයට තාරුණ සහභාගීත්වය


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික නව ව්‍යවසායකයන්ගේ සම්මන්ත්‍රණය සහ නවෝත්පාදන උළෙල වන Disrupt Asia 2018 පසුගියදා ට්‍රේස් එක්ස්පර්ට් සිටිහිදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අති සාර්ථක අන්දමින් නිමාවට පත්විය.

මෙහි ප්‍රධාන අංගයක් ලෙස ව්‍යවසායකත්ව සමුළුව, ප්‍රමුඛතම දේශීය හා විදේශීය විවිධ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණයන් විසින් ව්‍යවසායකත්වය, ප්‍රතිපත්ති, නව නිර්මාණ සහ තාක්ෂණය ආදී අංශ ආවරණය වන පරිදි පුළුල් කතිකාවතකින් සමන්විත විය. තොරතුරු තාක්ෂණය එදිනෙදා ජීවිතය හා බැඳී ඇති ආකාරය විදහා දැක්වෙන ආකර්ශණීය නවොත්පාදන උළෙලකින්ද මෙම ප්‍රදර්ශනය සමන්විත විය.

උසස් පෙළ නිමා කළ, සරසවි වරම් අහිමි වූ හෝ කිසිදු වෘත්තීමය අධ්‍යාපනයක් සඳහා වරම් නොලැබූ සිසුන් සදහා වන පූර්ණ ශිෂ්‍යත්ව ලබාදෙන "Uki - Stepping to Tech Life" වැඩසටහන නියෝජනය කරමින් යාපනයේ සිට පැමිණි තරුණ පිරිස මෙහිදී සුවිශේෂී විය. මෙම අවස්ථාවට සහභාගී වූ දිවයිනේ පාසල් නියෝජනය කළ සිසුන් පවසා සිටියේ නවෝත්පාදන උළෙල නැරඹිම තුළින් නවෝත්පාදනය වෙත සිය අවධානය යොමු වූ අතර, විවිධ වර්ගවල තාක්ෂණික ක්‍රීඩා පිළිබඳ අත්දැකීමක් ලැබීමට මෙන්ම ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද අවස්ථාව හිමිවූ බවයි.

Disrupt Asia  යනු ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) එක් ව්‍යාපෘතියක් පමණක් වන අතර, ගතවූ වසර කිහිපය පුරා මෙරට තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ICTA විසින් වැඩසටහන් රැසක් දියත් කර තිබුණි. ICTA විසින් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යංශයේ සහාය ඇතිව Disrupt Asia 2018 සංවිධානය කළ අතර, එහි ව්‍යවසායකත්ව සමුළුව තුළදී ප්‍රවීණයන් විසින් සිය ව්‍යවසායකත්ව ගමන්මගෙහි සාර්ථක, අසාර්ථක වීම්, මුහුණදුන් ගැටලු ආදිය පිළිබඳව අත්දැකීම් හුවමාරු කරගන්නා ලදී. මේ සඳහා ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව, බංග්ලාදේශය, පිලිපීනය, ඉන්දියාව, සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවීණයන් රැසක් සහභාගි වූ අතර, ඔවුන් කෘත්‍රිම බුද්ධිය (AI),  ඩිජිටල් අලෙවිකරණය, සුරක්ෂිතභාවය ආදිය පිළිබඳව සිය දැනුම හුවමාරු කරගත් අතර STEAM  අධ්‍යාපනය, කලා ක්ෂේත්‍රයේ කර්මාන්ත සහ සමාජ ව්‍යවසායකත්වය ආදිය පිළිබඳව නව මුහුණුවරකින් බැලීමේ හැකියාව වර්ධනය කිරීමටද කටයුතු කර තිබුණි.



Recommended Articles