ෆැන්ක්ෆර්ට් ගුවන්තොටේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් අපහසුතාවටපත් ශ්‍රී ලංකන් මගීන් ගෙනඒමට පියවර


ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටු පොළේ ආරක්ෂක අංශ විසින් පසුගිය සිකුරාදා (21දා) පැවැත්වූ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් එම ගුවන්තොටු පොළ තුළ රැඳී සිටි ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව සිටි මගීන් රැගෙන ඒම සඳහා ලන්ඩනයේ සිට කොළඹ බලා පැමිණෙන ශ්‍රී ලංකන් ගුවන්යානය ඉරිදා (23දා) දිනයේ යොදා ගැනෙන බව ගුවන් සමාගම පවසයි.

ෆ්‍රැන්කෆර්ට් ගුවන්තොටු පොළේ දෙවැනි පර්යන්තය භාවිත කළ ශ්‍රී ලංකන් හා සෙසු සියලු ගුවන්යානාවලට පසුගිය සිකුරාදා ගුවන් මගීන් ඇතුල් කරගැනීමෙන් තොරව නැවත පැමිණීමට සිදුව තිබුනේ, එහි පැවති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන්තොටු පොළ බලධාරීන් කළ ඉල්ලීමකට අනුවය.

මේ තත්ත්වය තුළ UL 554 දරණ ශ්‍රී ලංකන් යානය ෆ්‍රැන්ක්ෆර්ට් සිට කොළඹ බලා පිටත් වූයේ එහි පැමිණීමට සිටි මගීන් 240 දෙනෙකු නොමැතිවය. කෙසේ වෙතත්, එම මගීන්ට ගුවන්තොටු පොළ අසල හෝටල්වල නවාතැන් පහසුකම් ලබාදෙමින් ඔවුන්ට අපහසුතාවක් ඇති නොවන අයුරින් කටයුතු කළ බව ගුවන් සමාගම පවසයි.

අද (22දා) වනවිට ගුවන්තොටු පොළේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් බව වාර්තා වන අතර, එහි මෙහෙයුම් සුපුරුදු පරිදි සිදුවන බවද පෙන්වා දෙයි.

මේ තත්ත්වය තුළ අපහසුතාවට පත් ශ්‍රී ලංකන් ගුවන් මගීන් වෙනුවෙන් ලන්ඩනයේ සිට කොළඹ බලා පැමිණෙන UL 506 යානය ඉරිදා (23දා) දිනයේ ෆ්‍රැන්ක්ෆර්ට් වෙතින් එම ගුවන්මගීන් ලබාගැනීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. 



Recommended Articles