හරිත බලශක්ති සංවර්ධනයට ඩො මිලියන 300ක මුල්‍යාධාර


හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇ.‍ඩො. මිලියන 300ක මුල්‍යාධාර ලබා ගැනීම‍ට ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.

පිවිතුරු බලශක්ති උත්පාදනය, පද්ධති කාර්යෂමතාව‍ සහ විශ්වාසනීයත්වය වැඩිකිරීම මගින් පිවිතුරු හා විශ්වාසදායි බලශක්ති සම්පාදනයකට ඇති ප්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණින් රජය මෙම සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික ක්‍රියාකාරකම් සමග විදුලිබල ඉල්ලුම ශීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින බවත්, දැනට 96%ක් වන ජාතික විදුලිකරණ ප්‍රතිශතය වැඩිකිරීම සහ අනාගත විදුලිබල ඉල්ලුම සපුරාලීම සඳහා වසර 2020 වනවිට මෙගා වොට් 2,502ක අතිරේක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ යුතුව ඇති බවත් අමාත්‍යාංශය පවසයි.

ඒ නිසා රජය අවම පිරිවැයකින් බලශක්ති සුරක්ෂිතතාව ඇති කිරීමටත් බලශක්ති ප්‍රභව විවිධාංගීකරණය සහ පිවිතුරු හා සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව විදුලි උත්පාදන‍ය සඳහා යොදා ගැනීම දිරිමත් කිරීමටත් ප්‍රමුඛතාව ලබා දී ඇති බවද කියැවෙයි.

ඒ අනුව, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්  හා ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික නියෝජිත ශ්‍රී විදෝවතී මහත්මිය ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන්  මේ සඳහා වන ණය ගිවිසුම් දෙකක් සඳහා පසුගියදා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී අත්සන් තබා ඇති බවද පැවසෙයි.

 



Recommended Articles