සාගර විශ්වවිද්‍යාල සිසුන්ට රැකියා ඉලක්ක කළ පුහුණුවක්


සාගර විශ්ව විද්‍යාලයේ නාවුක හා ඉංජිනේරු පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන්ට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රැකියා ඉලක්ක කරගත් ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට පියවර ගෙන ඇති බව පැවසෙයි.

මේ යටතේ ප්‍රායෝගික නාවුක පුහුණුව ලැබූ ප්‍රථම සිසුන් කණ්ඩායමට සහතිකපත් පිරිනැමීම ජනාධිපතිවරයා අතින් පසුගිය 2දා අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණි.

සිසුන්ට මෙම ප්‍රායෝගික පුහුණුව ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ඇවන්ට් ගාර්ඩ් මැරිටයිට් සර්විස් ආයතනය, මර්චන්ට් ෂිපිං ආයතනය සහ ලංකා මැරිටයිම් සේවා ආයතනය එක්ව කටයුතු කරන බව පැවසෙයි.

මේ යටතේ වසරකට සිසුන් 50 දෙනෙකු සඳහා පුහුණුව ලබාදීමට නියමිත අතර, සාර්ථකව පුහුණුව අවසන්කළ සිසුන් 25 දෙනෙකුට එම ආයතනය තුළම රැකියා අවස්ථා හිමිවීම විශේෂත්වයක් බවද පෙන්වා දෙයි.

වසරකට මෙම පුහුණු කටයුතු සඳහා රැ.මිලියන 70ක් පමණ වැයවන මෙම වැඩසටහන සමාජ සත්කාරක සේවාවක් ලෙස එම ආයතන විසින් ක්‍රියාත්මක කර ඇති අතර, පුහුණුව ලබන සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම්, පාවහන්, ආහාරපාන ඇතුළු සියලු අවශ්‍යතා මේ යටතේ ලබාදෙන බවද පැවසෙයි.

නාවුක කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමට අවශ්‍ය මානව සම්පත් උත්පාදනය අරමුණු කරගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ධීවර අමාත්‍යවරයාව සිටි අවධියේදී සාගර විශ්ව විද්‍යාලය ආරම්භ කරන ලදී.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිළිගත් උපාධි ප්‍රධාන ආයතනයක් වශයෙන් පත් කරනු ලැබූ සාගර විශ්ව විද්‍යාලය රටේ තරුණ තරුණියන්ට ධීවර හා නාවික ක්ෂේත්‍රයේ උපාධි, ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා හැදෑරීමෙන් ලොව පිළිගත් රැකියාවක නිරත වෙමින් ජීවිතය ජයගැනීමට හැකි මහඟු අත්වැලක් බවද පෙන්වා දෙයි. මේ වනවිට එය යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි.

මෙම සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



Recommended Articles