සහසක් නිමැවුම් 26 දා ඇරඹෙයි


විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධානය කරන ‘සහසක් නිමැවුම්’ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරඟය - 2015 පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (22දා) පැවැත්විණි.

ඒ අනුව, මෙවර ප්‍රදර්ශනය හා තරගය සැප්තැම්බර් 26 දා දින සිට 28 දා දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ( SLECC ) පැවැත්වීමට කටයුතු සංවිධානකොට තිබේ.

ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණශීලීත්වය විදහා දක්වන ප්‍රදර්ශනයක් වන ‘සහසක් නිමැවුම්’ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරගය නව නිපැයුම් විශාල ප්‍රමාණයක් එක් ප්‍රදර්ශනයකදී එළිදක්වා සමාජගත කරමින් ශ්‍රී ලාංකිකයන් තුළ දේශීය නව නිපැයුම් කෙරෙහි නැඹුරුවක් ඇති කිරීමත්, ඒ ඔස්සේ නවෝත්පාදන සංස්කෘතියක් බිහිකිරීමත් අරමුණු කරගෙන ඇති බව පවසයි.

මෙවර ‘සහසක් නිමැවුම්’ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරඟය ප්‍රධාන අංශ 04 ක් යටතේ, තාක්ෂණික ක්ෂේත්‍ර 13 ක් ඔස්සේ නව නිපැයුම් 300 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කෙරෙන බවත් පෙන්වා දෙයි.



Recommended Articles