සතොස බිල්පත්වල මිල, නම සහ ප්‍රමාණය යොදන්න - ජොන්ස්ටන්


සියලුම ලංකා සතොස බිල්පත්වල භාණ්ඩයේ මිල, නම සහ ප්‍රමාණය සඳහන් කර ලබාදිය යුතු බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලංකා සතොසට නියෝග කර තිබේ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් අලුතින් ආරම්භ කරන ලද සියලුම ලංකා සතොස ශාඛාවන්ගෙන් නිකුත් කෙරෙන බිල්පතේ භාණ්ඩවල මිල, නම සහ ප්‍රමාණය සඳහන් කිරීමට කටයුතු කළ අතර, ඉදිරියේදී සියලුම ලංකා සතොස බිල්පත්වල මෙය ක්‍රියාත්මක කළ බුතු බවට අමාත්‍යවරයා සතොස සභාපති නලීන් ප්‍රනාන්දු මහතාට නියෝග කර තිබේ.

මේ වනවිට සවිස්තරාත්මක තොරතුරැ ඇතුළත් බිල්පත් ලබාදීම ලංකා සතොස ශාඛාවන් 50ක ආරම්භකර ඇති අතර, ඉදිරි කාලයේ පාරිභෝගිකයා වෙත අනෙකුත් ලංකා සතොස අලෙවිසැල් ජාලා මගින්ද සවිස්තරාත්මක තොරතුරැ ඇතුළත් බිල්පත් ලැබෙනු ඇති බව අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට ස්ථාපිත කරඇති ලංකා සතොස ශාඛා සහ නව ලංකා සතොස ශාඛාවලට පාරිභෝගිකයන් වෙත බිල්පත් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, ඒ අනුව ඉදිරි කාලයේදී අදියරෙන් අදියර දිවයින පුරා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවද කියැවෙයි.

ලංකා සතොසට නව තාක්ෂණය හඳුන්වා දෙන්නේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ දමා නාස්තිය අවමකර පාරිභෝගිකයාට වැඩි සේවාවක් ලබාදීමට බව අමාත්‍යවරයා පෙන්වා දෙන අතර, ලංකා සතොස අලෙවිසැල් කිසිදු ප්‍රමාදයකින් හා හිඟයකින් තොරව පවත්වාගෙන යනවාදැයි සොයාබැලීමට කණ්ඩායමක් යොදවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.



Recommended Articles