ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ යන්ත්‍රාගාරය ඇරඹේ


අපනයන භාණ්ඩ ජීව‍නුහරණය කිරීම සදහා ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ප්‍රථම ගැමා මධ්‍යස්ථානය නිසා භාණ්ඩ අපනයන ක්ෂේත්‍රයෙන් අනාගතයේ ලැබෙන ප්‍රතිලාභ මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට දේශීය ගොවි ජනතාව දක්වා බෙදීයන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ ක‍ළේය.

ගැමා මධ්‍යස්ථානය මගින් රටේ ආර්ථිකයට විශාල  දායකත්වයක් ලැබෙන අතර ශ්‍රී ලංකාවේ පලතුරු විදේශ වෙළෙඳ පොළවලට යැවීමට තිබූ ලොකුම බාධකය වූ නියම ප්‍රමිතියට අදාල භාණ්ඩ දැන් යැවිය හැකි බවද එය රබර් ඇතුළු කර්මාන්තකරුවන්ට විශාල අත්වැලක් බවද අමාත්‍ය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය ‍කළෙ‍්ය.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මෙම අදහස් පලකළේ බියගම ආයෝජන කලාපයේ ඉදිකළ ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ගැමා ප්‍රවිකිරණාගාරය පසුගියදා විවෘත කරමිනි. අපනයන කේෂේත්‍රය වර්ධනය කරගැනීම සදහා අතවශ්‍යව තිබූ එළවළු, පලතුරු, වෛද්‍ය උපකරණ සහ රබර් නිෂ්පාදන ලංකාව තුළදීම ජීවාණුහරණය කරගත හැකි මෙම න්‍යෂ්ටික තාක්ෂණ මධ්‍යස්ථානය පරමානු බලශක්ති අධිකාරියේ මෙහෙයවීමෙන් ස්ථාපිත කර ඇත්තේ තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය මගිනි.

ගැමා කිරණ යොදා ගනිමින් වෛද්‍ය උපකරණ ජීවාණුහරණය, කුළුබඩු වැනි ආහාර ද්‍රව්‍යවල ක්ෂුද්‍රජීවින් විනාශ කිරීම, ආහාර කල්තබා ගැනීම සහ නව කාර්මික අමුද්‍රව්‍ය නිෂ්පාදන කිරීම සිදුකෙරේ. ගැමා ප්‍රවිකිරණය භාවිතයෙන් ශ්‍රී ලංකීය රබර් අත්වැසුම් නිෂ්පාදකයින් හට විදේශ වෙළෙඳපොළ තුළ වැඩි ඉඩකඩක් ලබාගත හැකි අතර එමගින් දැනට ලබාගන්නා වටිනාකම මෙන් සියයට 400 ගුණයක වටිනාකමක් ලබාගත හැකිවනු ඇත.

ශ්‍රී  ලංකීය නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සහ වෙළෙඳ පොළ ප්‍රසාරණය කිරීම සහ දේශීය අවශ්‍යතාවය සපුරාලීම පිණිස ජීවාණුහරිත වෛද්‍ය උපකරණ අපනයනයේදී වැයවන විදේශ විනිමය රටතුළ රදවා ගැනීමටද ගැමා ප්‍රවිකිරණ තාක්ෂණයේ භාවිතයෙන් අවස්ථාව සැලසේ. එමෙන්ම මේ ආශ්‍රිත නව කර්මාන්ත ඇරඹීමත් සමගම නව රැකියා අවස්ථා බිහිවන අතර ගුණාත්මක වෛද්‍ය සේවාවක්ද ජනතාවට හිමිවනු ඇත.

මෙහිදී තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය චම්පක රණවක මහතා උත්සවය අමතමින් කියා සිටියේ අධි තාක්ෂණික ක්ෂේත්‍රයේ භාවිතාවන් ප්‍රයෝජනයට ගනිමින් විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රය මෙන්ම ආර්ථික සංවර්ධනයටද දායකත්වයක් ලබාදීමට ශ්‍රී ලංකා ගැමා ආයතනය ඉදිරියේදී කටයුතු කරන බවය.

ගැමා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා විජේතිලක. පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන, ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක නිශ්ශංක වාසල බණ්ඩාර ඇතුළු විශේෂ අමුත්තන් රැසක්ම සහභාගි වී සිටියහ.



Recommended Articles