වෛද්‍ය ප්‍රතිකාර සඳහා සංචාරක ප්‍රවර්ධනයක්


වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙරටට සංචාරකයන් කැඳවා ගැනීම (Medical Tourism) ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ගොඩනගා තිබෙන සභාවේ සමාරම්භක රැස්වීම සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ලංකාවට සංචාරකයින් රැගෙන ඒම සඳහා විශාල අවස්ථාවක් තිබෙන බවත්, ඒ සම්බන්ධ මෙරට ධාරිතාව තවමත් නිසි ලෙස ප්‍රයෝජනයට නොමැති බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. එමෙන්ම, මෙම වෙළෙඳ පොළ සංවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවට ප‍්‍රතිලාභ ලබාගත හැක්කේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය.

විදේශ කටයුතු අමාත්‍යංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල සම්බන්ධ කරගනිමින් සංචාරකයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් වන තත්ත්වයන් සහ ප්‍රමිතීන් මෙන්ම නිතී සහ රෙගුලාසි සකස් කිරීම පිළිබඳවත් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ඉතාමත් පහසුවෙන් සුවිශේෂී ලෙස ලබාදිය හැකි ප‍්‍රතිකාර මොනවාදැයි හඳුනා ගැනීම පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවිය.

මෙහිදී, තීරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳ සහ සංචාරක ප්‍රදර්ශනවලට සහභාගී වන අවස්ථාවන්හිදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා සංචාරකයන් මෙරටට කැඳවා ගැනීම පිළිබඳව උපාය මාර්ගික අලෙවිකරණ වැඩසටහනක් මගින් එය ප්‍රවර්ධනය කිරීමටය. මෙම රැස්වීමට සහභාගී වූ සියලුම කොටස්කරුවන්ගේ සහභාගීත්වයෙන් 2015 දෙසැම්බර් මාසය හෝ 2016 ජනවාරි මාසය යන කාලය වනවිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සංචාරකයන් ගෙන්වාගැනීම පිළිබඳ සම්මේලනයක් පැවැත්වීමට මෙහිදී මූලික වශයෙන් යෝජනා විය.

මීට අමතරව, ශක්‍යතා අධ්‍යනයක් පදනම් කරගනිමින් බටහිර වෙළෙඳ පොළවල් සඳහා ආයුර්වේද, හෝමියෝපති, ඇකියුපන්චර් වැනි විකල්ප ප්‍රතිකාර ක්‍රම ලබාදීමටත් ආසියානු වෙළෙඳ පොළවල් සඳහා ප්‍රමුඛ වශයෙන් බටහිර ප්‍රතිකාර ක්‍රම ලබාදීමේ වැදගත්කමත් මෙහිදී අවධානයට ලක්විය.

එම සභාවේ සභාපති වෛද්‍ය රොහාන් විජේසුන්දර, ලංකා හොස්පිට්ල්ස් හි සභාපති වෛද්‍ය සරත් පරණවිතාන, ලංකා හොස්පිට්ල්ස් හි අධ්‍යක්ෂ කීත් බර්නාඩ්, මහාචාර්ය මන්දික විජේරත්න (ධමනි සහ ඉන්ද්‍රිය බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය), නවලෝක හොස්පිට්ල්ස් ලිමිටඩ් හි අධ්‍යක්ෂ මහාචාර්ය ලාල් චන්ද්‍රසේන, සෙන්ට්‍රල් හොස්පිට්ල්ස් ලිමිටඩ් හි අධ්‍යක්ෂ නිහාල් රත්නායක, හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ අශෝක හෙට්ටිගොඩ, ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සමේමලන මධ්‍යස්ථානයේ සභාපති ප්‍රේමා කුරේ, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ලාල් රත්නායක, අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ෆීලික්ස් රොද්‍රිගෝ සහ අමාත්‍යවරයාගේ පෞද්ගලික සහායක ඈන් අමරතුංග යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගි වූහ. 

වෛද්‍ය ප‍්‍රතිකාර වෙනුවෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම යනුවෙන් අදහස් කරන්නේ යම් රටක වෙසෙන පුද්ගලයෙකු වෛද්‍ය ප්‍රතිකාර, ශල්‍ය කර්ම හෝ රූපලාවන්‍ය වෛද්‍ය කටයුතු සඳහා තවත් රටකට ගෙන්වා ගැනීමය.



Recommended Articles