විදේශ අමාත්‍යාංශයේ දේශපාලන වර්ගීකරණ නෑ - රවි


විදේශ අමාත්‍යාංශය තුළ දේශපාලන වශයෙන් පාට කිරීමට හෝ වර්ගීකරණය කිරීමට නොහැකි බවත්, ශ්‍රී ලංකාව අම්මා සේ සළකා රට ඉදිරියට ගෙන යායුතු අතර, ඒ අලුත් ආකාරයක රටක් නිර්මාණය කළ හැකි බවත් විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.

අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ඊයේ (25දා) නව විදේශ අමාත්‍යවරයා ලෙස වැඩභාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී, වැඩදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

&විදේශ අමාත්‍යාංශය තුළ දේශපාලන වශයෙන් පාට කිරීමට හෝ වර්ගීකරණය කිරීමට බැහැ. ශ්‍රී ලංකාව අම්මා සේ සළකා රට ඉදිරියට ගෙන යායුතු වෙනවා. ඒ තුළ අපිට අලුත් ආකාරයක රටක් නිර්මාණය කිරීමට සිදුවෙනවා. එදා රට ආරක්ෂා කළා මෙන් අද අපි විදේශ කටයුතු තුළින් රට නැවත ආරක්ෂා කරන්නට බැඳී සිටිනවා. ශ්‍රී ලංකාව කුඩා රටක්. ස්වෛරීභාවය තිබෙන රටක්. කෙතරම් කුඩා හෝ විශාල රටක් වුවත් ලෝකය සමග ගනුදෙනු කරන්නේ එක් රටක් වශයෙන් බව කියන්න අවශ්‍යයි. අපේ රට හමුවේ තිබෙන අභිමානය ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලු දෙනාම කැපවිය යුතු වෙනවා. අප බාරගන්නා මේ අමාත්‍යාංශය නිවැරැදි කරගෙන ඉදිරියට ගමන් කරනවා. ඒ ගමන් කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාව ලෝකයට එකතු කිරීම අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වන්නේ ලෝකයේ සංචාරය කිරීම නොව රටේ ජීවත්වන අයට සහ විදේශයන්හි ජීවත්වන ශ්‍රීලාංකිකයන් වෙනුවෙන් සේවය ඉටුකරන්නයි.* යනුවෙන් පවසා සිටියේය.

ඇමැතිවරුන් වන මංගල සමරවීර, පී. හැරිසන්, චන්ද්‍රාණි බන්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, විජේපාල හෙට්ටිආරච්චි, තුසිතා විජේමාන්න, හෙක්ටර් අප්පුහාමි, ලකී ජයවර්ධන, කේ.කේ පියදාස, නලින් බණ්ඩාර මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.



Recommended Articles