විදුලි පරිභෝජනයේදී දුප්පතුන්ට අසාධාරණයක් - පාඨලී


මෙරට විදුලි පරිභෝජනයේදී දුප්පත් පවුල් තම ආදායමෙන් 19% ක් විදුලිබිල වෙනුවෙන් වැය කරන විට අධිකව විදුලිය භාවිත කරන්නන් තම ආදායමෙන් 2% ක් පමණක් විදුලිය වෙනුවෙන් වැය කරන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කරසිටියේ පසුගියදා "ලෝක දේශගුණික විපර්යාස සමුළුව සහ ශ්‍රී ලංකාවේ බලශක්ති මිල සූත්‍රයකට ඇති අවශ්‍යතාවය" මැයෙන් බලශක්ති සංසදය විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පවත්වන ලද විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මෙගාවොට් 900 ක් පුත්තලමේ ගල් අඟුරු බලාගාරයෙන් නිපදවූවත් එහි පූර්ණ බලශක්තිය අපට ලබාගත නොහැකි වී තිබෙනවා. නිපදවන ශක්තිය සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය පහසුකම් නොමැතිවීම එයට හේතුවයි. දුප්පත් පවුල් තම ආදායමෙන් 19% ක් විදුලිබිල වෙනුවෙන් වැය කරන විට අධිකව විදුලිය භාවිතා කරන්නන් වැය කරනුයේ තමන්ගේ ආදායමෙන් 2% ක් පමණයි.

ජනාධිපතිතුමා පසුගිය 15 වැනිදා පුත්තලම බලාගාරයේ 3 වැනි අදියර විවෘත කරන අවස්ථාවේ 25% කින් විදුලිබිල  අඩුකරන බව ප්‍රකාශ කළා. නමුත් අපිට මේ සම්බන්ධයෙන් පැහැදිළි නිසි මිල සූත්‍රයක් නොතිබීම නිසා විවිධ පුද්ගලයන් විවිධ ප්‍රකාශ කළා. සැබෑ ලෙසම මිල අඩුවීම සිදුවී ඇත්තේ ගෘහස්ථ පාරිභෝගිකයන්ට පමණක් වීම විශේෂත්වයක්. කාලයක් අර්බුද ගණනාවක් පැවති ප්‍රවාහන සේවයට විධිමත් මිල සූත්‍රයක් හඳුන්වාදීමත් සමග අද එම අර්බුද මඟහරවා ගැනීමට හැකිව තිබෙනවා. විදුලිබිල සම්බන්ධයෙන්ද පැහැදිළි මිල සූත්‍රයක් පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍යයි. බලශක්තියට, ප්‍රවාහන ගාස්තුවට, විදුලි බිලට, තෙල් වලට, ගෑස්වලට ගෙවන මිල හා ඒ මිල ගෙවිය යුත්තේ ඇයිද යන්න පිළිබඳව දැනගැනීමට පාරිභෝගිකයාට අයිතියක් තිබෙනවා.” යනුවෙන් පවසා සිටියේය.



Recommended Articles