ව්‍යාපාර අභියෝග ජය ගැනීමට නව ක්‍රම හඳුන්වා දෙන බවත්, මෙහිදී, කිරිපිටි නිෂ්පාදන, සිමෙන්ත නිෂ්පාදන, රබර් නිෂ්පාදන හා වාහන අමතර කොටස් නිෂ්පාදනය කරන ආයතන මුහුණදෙන අභියෝග ගැන විශේෂයෙන් සැලකිල්ල යොමු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා වාණිජ මණඩල ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය. මෙහිදී ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ප්‍රධානීන්, පෞද්ගලික අංශය දීර්ඝ කාලයක් පුරා මුහුණදෙන අභියෝග ගැනද, වර්තමානයේදී අලුතින් ඔවුන්ට මුහුණ දීමට ඇති අභයෝග ගැනද මුදල් අමාත්‍යවරයා දැනුම්වත් කර තිබේ.
කිරිපිටි නිෂ්පාදන, සිමෙන්ත නිෂ්පාදන, රබර් නිෂ්පාදන හා වාහන අමතර කොටස් නිෂ්පාදනය කරන ආයතන මුහුණ දෙන අභියෝග ගැන මෙහිදී සැලකිල්ලට භාජනය කළ අතර, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි තඹ අපනයනය කිරීමෙන් රටට සිදුවන අලාභය ගැනද මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට භාජනය වී තිබේ.
අනතුරුව මෙම අභියෝග ජයගැනීමට ලබාදිය හැකි විසඳුම් සැකසීම තම අභියෝගයක් ලෙස භාරගත් රවී කරුණානායක මහතා පවසා සිටියේ, ඉදිරියේදී රටේ සියලුම වාණිජ මණ්ඩල නියෝජනය වන ක්‍රමයක් සකසා සෑම මාස 3කට වරක්ම රැස්ව ඔවුන් මුහුණ දෙන අභියෝග සොයා බලා විසඳුම් ලබාදෙන බවයි.
තවද, පෞද්ගලීකරණය ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව නිසි කළමනාකරණය මගින් පෞද්ගලික අංශය සමග එක්ව ව්‍යාපාර දියුණුවට පමුණුවන මාර්ග සකසන බව හා ව්‍යාපාර කිරීම සඳහා දැනට තිබෙන ක්‍රමයට වඩා පහසු ක්‍රම හඳුන්වාදීම තම ආණ්ඩුවේ අරමුණ බවද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.