ව්‍යවසාය කාන්තාවන්ට පොලී රහිත ණය ඇරඹේ


දිරිමත් ව්‍යවසාය කාන්තා පරපුරක් බිහිකිරීමට විශේෂ කාන්තා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙන බවට 2014 අයවැයේදී කළ යෝජනාව මලඵල ගන්වමින්, ‘ලිය ඉසුර’ විශේෂ කාන්තා ණය යෝජනා ක්‍රමය දියත් කිරීමේ උත්සවය අදට (8දා) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය හා සමගාමීව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ව්‍යවසායක කාන්තාවන්ට රුපියල් ලක්ෂ දෙකහාමාරක් දක්වා ණය පහසුකම් ලබාදෙන  ‘ලිය ඉසුර’ විශේෂ ණය යෝජනා ක‍්‍රමය මගින් කාන්තාවන් අතර ස්වයං රැකියා සහ අතිරේක ආදායම් මාර්ග වැඩි දියුණු කිරීමට අවශ්‍ය මූලික පහසුකම් සැපයීම අරමුණු කෙරෙයි.

ඒ අනුව, මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වාදෙමින් දිවයිනම නියෝජනය වන පරිදි ව්‍යවසාය කාන්තාවන් 1,500 කට අද දිනයේ ණය මුදල් ප්‍රදානය කෙරුණු අතර, එය සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින්ද කිහිප දෙනෙකු වෙත ණය මුදල් පිළිගැන්විණි.

අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, තිස්ස කරලියද්ද, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිනී කේෂලා ජයවර්ධන යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Recommended Articles