යානා කිහිපයක අනපේක්ෂිත හේතුවකින් ශ්‍රී ලංකන් ප්‍රමාදයි


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා කිහිපයක ඇති වූ අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් මැයි මස 3 වැනි දින ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද කිරීමට සිදු වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.  ඒ අනුව UL884 කොළඹ-මෙල්බන්, UL281 කොළඹ-ජෙඩා, UL314 කොළඹ-ක්වාලාලම්පූර්, UL406 කොළඹ-බැංකොක් සහ UL 604 මෙල්බන් කොළඹ යන ගුවන් ගමන් වල ප්‍රමාදයන් සිදුව තිබේ.

මැදපෙරදිග  සිට පැමිණි ගුවන් යානයේ සිටි මගියකු හදිසියේ රෝගාතුරු වීම හේතුවෙන් ගුවන් යානය ඉන්දියාවේ කොචින් නුවරට ගොඩ බැස්සවීමට සිදුවීමත්, කුවේටයේ සිට පැමිණි ගුවන් යානය දූවිලි කුණාටු තත්ත්වයකට (dust-storm) හසුවීමත් සමග ඉංජිනේරු සහාය ලබාගැනීමට සිදුවීම සහ තවත් ගුවන් යානා දෙකක මතු වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් ප්‍රමාදවීම සිදුව ඇති බව ගුවන් සමාගම පවසයි.

මෙම හේතුවෙන් මගීන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳ ශ්‍රීලකංන් ගුවන් සමාගම කණගාටුව ප්‍රකාශ කර සිටියි. ගුවන් ගමන් සඳහා සූදානම් වී සිටි සියලුම මගීන් සඳහා නවාතැන් පහසුකම් සහ ආහාර ලබා දීමට ගුවන් සේවය කටයුතු යොදා තිබේ.



Recommended Articles