මානව සංවර්ධන දර්ශකයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රගතිය හොඳයි - සූ


මානව සංවර්ධන දර්ශකයන්හි ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ඉහළ මට්ටම ගැන ප්‍රසාදය පළ කරන බවත්, රටේ සාර්ථකත්වය ලෝකයේ ප්‍රචලිත කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිපික් කාර්යාංශයේ කලාපීය අධ්‍යක්ෂ හවුලියෑන්ග් සූ මහතා පවසා සිටියේය.

පසුගිය 12දා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමින් හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.

උතුරේ සංවර්ධන වැඩසටහන්, පළාතේ සමස්ත සංවර්ධන ක්‍රියාවලිය, අධ්‍යාපන සහ එක්සත් ජාතීන් හා ශ්‍රී ලංකා රජය අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සාකච්ඡාවලට ලක්වූ සෙසු මාතෘකා විය.

එම අවස්ථාවේදී අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණ සිටි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග කතාබහ කිරීමටද සූ මහතා ජනාධිපතිවරයා සමග එක් විය.

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න මෙනෙවිය සාකච්ඡාවට එක්ව සිටියහ.



Recommended Articles