පෞද්ගලික බස්රථ පෙර ගෙවුම් කාඩ්පත්හි තාක්ෂණික අත්හදා බැලීමක් සිදුකෙරේ


පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය ක‍්‍රියාවට නංවන පෞද්ගලික බස් රථ සඳහා දිවයින පුරා භාවිත කළ හැකි පෙර ගෙවුම් කාඩ්පතෙහි තාක්‍ෂණික අත්හදා බැලීම පසුගියදා සිදුකර තිබේ.


අමාත්‍ය මණ්ඩලයේ මගපෙන්වීම යටතේ ක‍්‍රියාවට නංවන මෙම පෙර ගෙවුම් කාඩ්පත සඳහා ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය හා මහජන බැංකුව යන රාජ්‍ය ආයතන දෙක දායකත්වය ලබාදෙන අතර, මෙම කාඩ්පත් මගී ජනතාව වෙත හඳුන්වාදීම සඳහා එම රාජ්‍ය ආයතන දෙක සමඟ ඇතිකර ගත යුතු ගිවිසුම් පිළිබඳව නීතිපති උපදෙස් ලබාගනිමින් සිටින බවත්, ඒ සම්බන්ධව ශ‍්‍රී ලංකා මහ බැංකුව සමඟ ද සාකච්ඡා පවත්වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස් හිමියන්  ඉදිරිපත් කළ නව යෝජනා කිහිපයක්ද  කි‍්‍රයාවට නැංවීම පිළිබඳව සියලු පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවද කියැවෙයි.

මගී ජනතාවගෙන් ලැබෙන මුදල් සම්බන්ධයෙන් උපරිම සුරක්ෂිතතාව සැලසීම මෙන්ම, එය බස් හිමියාට ලැබීමට සැලැස්වීමද විධිමත්ව කළ යුත්තක් බැවින් ලැබුණු යෝජනා සියල්ල සැලකිල්ලට ගෙන වඩා කාර්යක්‍ෂම හා සුරක්‍ෂිතතාවයකින් යුතු කාඩ් පතක් නුදුරේදීම හඳුන්වාදීම අපේක්‍ෂාව බවද කියැවෙයි.

මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රකාශනයට අනුව  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි පුද්ගලික ප‍්‍රවාහන සේවා  අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් මෙම ඉලෙක්ට්‍රොනික පෙර ගෙවුම් කාඩ්පත හඳුන්වා දෙනු ලැබීය.



Recommended Articles