පොහොර හිඟයක් නොමැති බව රජය කියයි


රජය ගත් ප‍්‍රතිපත්ති තීරණයක් මත 2014 වසරේදී වී හැර අනෙකුත් බෝග සඳහා වන සහනාධාර පොහොර ප‍්‍රමාණය රාජ්‍ය පොහොර සමාගම් දෙක මගින් ආනයනය කර බෙදා හැරීමට කටයුතු කර ඇති බව සීමාසහිත ලංකා පොහොර සමාගම පවසයි.

සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපති බුද්ධික මඩිහහේවා මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, එය මුළු පොහොර අවශ්‍යතාවයෙන් 40‍% ක් තරම් වූ ප‍්‍රමාණයක් බවයි.

ඒ අනුව, සීමාසහිත ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම  අනෙකුත් බෝග සඳහා වූ පොහොර ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බව පැවසෙයි. මේ නිසා කිසිදු හිඟයකින් තොරව අනෙකුත් බෝග සඳහා සහනාධාර පොහොර වෙළෙඳ පොළට සැපයීමට හැකිවෙන බවත්, පොල් පර්යේෂණ ආයතනය හා ශ‍්‍රී ලංකා රබර් පර්යේෂණායතනය පොල් සහ රබර් වගාවන් සඳහා මිශ‍්‍ර පොහොර වෙනුවට සෘජු පොහොර ලබාදීම සුදුසු බව නිර්දේශ කර ඇති බැවින් එම වගාවන් සඳහා සෘජු පොහොර ලබාදීමට අවශ්‍ය කටයුතු යෙදා ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ඒ අනුව, ඉදිරියේදී රාජ්‍ය පොහොර සමාගම් මෙන්ම පෞද්ගලික අංශයේ පොහොර සමාගම් මගින්ද අදාළ පොහොර අවශ්‍ය ප‍්‍රමාණයන් අඛණ්ඩව වෙළෙඳ පොළට සැපයීමට සියලු කටයුතු යොදා ඇති බවද සභාපතිවරයා අවධාරණය කර තිබේ.
සීමාසහිත ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම වී පොහොර සහනාධාරය ගොවීන් වෙත බෙදා හැරීම 2005 වසරේ සිට සිදු කරන බවත්, එදින සිට මේ දක්වා වගා කන්න 16 කදී කි.ග‍්‍රෑ. 50 ක පොහොර මල්ලක් රු.350/- සහන මිලක් යටතේ ගොවි ප‍්‍රජාව වෙත කිසිදු හිඟයකින් තොරව ලබා දීමට රජය සමත් වී ඇති බවද පෙන්වා දෙයි.
මෙම සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙල තවදුරටත් ව්‍යාප්ත කරමින් වසර 2011 දී රජය මගින් තේ, පොල්, රබර් සහ අපනයන බෝග මෙන්ම අනෙකුත් බෝග සඳහාද සහනාධාර ලබාදීමට ක‍්‍රියා කර තිබේ. මෙතැන් සිට වෙළෙඳ පොළට පොහොර නිකුත් කිරීම රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සමාගම් මගින් සිදු කර තිබේ.
වී පොහොර සහනාධාර සහ අනෙකුත් බෝග සහනාධාර ගොවීන්ට ලබාදීම සඳහා රජය වාර්ෂිකව රු.මිලියන 40,000 ක පමණ ආයෝජනයක් සිදු කරනු ලබන බවත්, මේ දක්වා මෙම අනෙකුත් බෝග සඳහා සහනාධාර පොහොර කෝටාවෙන් රාජ්‍ය සමාගම් දෙක සඳහා වෙන් කරන ලද්දේ මුළු ආනයනික පොහොර සහනාධාරයෙන් 10‍% ක් බවත් පෙන්වා දෙයි.
ඒ අනුව, අදාළ පොහොර ආනයනය කර වෙළෙඳ පොළට නිකුත් කිරීමට සීමාසහිත ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම කටයුතු කර ඇති බවත්, එහිදී පෞද්ගලික සමාගම් මගින් ඉතිරි 90‍% ක පොහොර ප‍්‍රමාණය ගෙන්වා බෙදා හැරිය යුතු බවත් පැවසෙයි.
2013 අවසන් වනවිට පෞද්ගලික අංශයේ පොහොර සමාගම්වල ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මත වෙළෙඳ පොළේ පොහොර හිඟයක් ඇති වූ අවස්ථාවේදී රාජ්‍ය පොහොර සමාගම් දෙකට අනුමත වී තිබූ 10% කෝටාව ඉක්මවා වෙළෙඳ පොළ පෙහොර අවශ්‍යතාව සපුරාලීමට ඉදිරිපත් වූ බවද එහිදී පෙන්වා දී තිබේ.



Recommended Articles