පොහොර සමාගමට නව රසායනාගාරයක්


ලංකා පොහොර සමාගමේ නව රසායනාගාරය විවෘත කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02දා) දින සිදුවිය.

ලංකා පොහොර සමාගමේ  ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාවට සමගාමීව වත්තල හුණුපිටියේ පිහිටි ලංකා පොහොර සමාගමේ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ මෙම නව රසායනාගාරය ස්ථාපිත කර ඇත.

නව රසායනාගාරය මගින් පොහොරවල ප‍්‍රමිතිය පරික්‍ෂා, පොහොරවල සංයුතිය පරීක්‍ෂා කිරීම, පස් සාම්පල් පරීක්‍ෂා කිරීම, පොහොර ඇසුරුම් මලුවල තත්ත්වය පරීක්‍ෂා කිරීම, කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ අනෙකුත් රසායනාගාර කටයුතු සිදු කළ හැකිවීම විශේෂත්වය බව පැවසෙයි.

1964 වසරේ ආරම්භ කල ලංකා පොහොර සමාගම 1992 වසරේදී සමාගමක් බවට පත් කර ඇත. කලක් පාඩු ලබන තත්වයේ පැවති මෙම ආයතනය 2013 වසරේදී මහා භාණ්ඩාගාරයට ලාභාංශ වශයෙන් රුපියල් මිලියන 39 ක් ලබාදී ඇත. එසේම ISO 9001 තත්ත්ව සහතිකය, ISO 17025:2005 තත්ත්ව සහතිකය ඇතුළු  සම්මාන රැසක්ද හිමිකරගෙන තිබේ. රජයේ පොහොර සහණාධාර වැඩසටහන යටතේ වී වගාව සඳහා ලබාදෙන පොහොර සහණාධාරයෙන් 65% ක ප‍්‍රමාණයක් ලංකා පොහොර සමාගම මගින් ලබාදීම සිදුකරයි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි, බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා, කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර, ලංකා පොහොර සමාගමේ සභාපති බුද්ධික මඩිහහේවා යන  මහත්වරු රාජ්‍ය නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



Recommended Articles