පුනර්ජනනීය බලශක්ති හා දේශගුණ විපර්යාස පිළිබඳ සම්මන්ත්‍රණයක්


දේශගුණ විපර්යාස පිළිබඳ 2014 වසරේ ජගත් විද්වත් වාර්තාව සහ පුනර්ජනනීය බලශක්තියේ වැදගත්කම පිළිබඳ සම්මන්ත‍්‍රණයක් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (20දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒකාබද්ධව මෙය සංවිධානය කර ඇති බව පැවසෙයි. මේ සම්මන්ත‍්‍රණය 2014 වසරේ ජගත් විද්වත් වාර්තාවෙන් ඉස්මතු කර ඇති ගැටලු ශ‍්‍රී ලංකාවේ විද්වතුන්ට හඳුන්වාදීමේ අරමුණින් පැවැත්වේ.

වර්තමානයේ මානව වර්ගයාට මුහුණදීමට සිදුව ඇති ප‍්‍රබලතම ගැටලුව වන දේශගුණික විපර්යාසය පිළිබඳ අභියෝගයට දියුණුවෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක‍්‍රියා මාර්ගය පිළිබඳව ගැඹුරු සංවාදයක් ඇති විය යුතු බවත්, ජගත් විද්වත් මණ්ඩලය පෙන්වාදී ඇති අන්දමට මිහිතලය දැනටමත් උණුසුම් වී ඇති අතර මෙමගින් සිදුවන හානිය අවම කර ගැනීමට වහාම ක‍්‍රියාත්මක විය යුතු බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා ලෝක නායකයන් ලබන වසරේදී ප‍්‍රංශයේ පැරිස් නුවරදී හමුවීමට නියමිත බවද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

 



Recommended Articles