පාකිස්තානයේ නිපදවන ලද ඇල්ටිස් රථ හමුදාවට හා පොලීසියට


පාකිස්ථානයේ ඉන්දුස් මෝටර්ස් සමාගම වෙතින් නිපදවන ලද ටොයොටා කොරොල්ලා (ඇල්ටිස්) මෝටර් රථ 100ක් ශ්‍රී ලංකා පොලීසිය හා යුද හමුදාව වෙත භාරදීමේ උත්සවය ඊයේ (19දා) ශ්‍රී ලංකා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් (වි) මේජර් ජෙනරාල් කාශිම් කුරේෂි, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (වි) නන්ද මල්ලවාරච්චි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරු ඇතුළු පොලීසියේ හා යුද හමුදාවේ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

තවද, ඉන්දුස් මෝටර්ස් සමාගමේ අලී අස්ඝාර් ජමාලී සහ ඉස්මයිල් අහමෙඩ් සේති යන මහත්වරුන් මෙන්ම ආරක්ෂක උපදේශක කර්නල් ෂහිර්යාර් පර්වේස් බූට්, මාධ්‍ය පරිවාරක ඩාවුඩ් එතිශාම් යන මහත්වරුද මෙම උත්සවයට සහභාගි වූ බව පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දුස් මෝටර්ස් සමාගම විසින් ටොයොටා කොරොල්ලා (ඇල්ටිස්) මෝටර් රථ නිපදවන බවත්, ඒවා හවුස් ඔෆ් හබීබ්, ටොයොටා මෝටර් කෝපරේෂන් සහ ටොයොටා සුෂෝ කෝපරේෂන් යන ජපාන සමාගම් සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වෙමින් වර්ෂ 1990 සිට ටොයොටා මෝටර් රථ එකලස් කිරීම්, නිෂ්පාදන වැඩිදියුණු කිරීම් හා අලෙවි කිරීම් පාකිස්ථානයේදී සිදුකරන බවත් මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

1989 දෙසැම්බර් මාසයේ සිට පාකිස්ථානය තුළ සීමාසහිත සමාගමක් ලෙස ක්‍රියාත්මක වන ඉන්දුස් මෝටර්ස් සමාගම 1993 සිට වාණිජ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කොට ඇති බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

පාකිස්ථානයේ කරච්චි නුවර පෝට් බින් කාසිම් නම් වූ කර්මාන්ත කලාපයේ අක්කර 105ක භූමි භාගයක ඉන්දුස් මෝටර්ස් සමාගම ස්ථාපිතව ඇති බවත්, මෙම කර්මාන්ත කලාපයේ ටොයොටා සහ ඩයිහට්සු මෝටර් රථ නිෂ්පාදනය කෙරෙන බවත් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි. 



Recommended Articles