ප්‍රථම වතාවට ලංකා සීනි සමාගමෙන් ප්‍රසාද දීමනා


රාජ්‍ය සමාගමක් වන ලංකා සීනි සමාගම 2013 වසරේ බදුවලට පෙර ලාභය රු.මිලියන 1,486 වාර්තාගත කර බව එම සමාගම පවසයි. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රු.මිලියන 297ක් ප‍්‍රසාද දීමනා වශයෙන් උක් ගොවියන්ට සහ සේවක ප‍්‍රජාවට පිරිනමන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

2012 වසරේ ස්ථාපනය කරන ලද 100% ක්ම රාජ්‍ය සමාගමක් වන ලංකා සීනි සමාගම යටතේ පවත්වාගෙන යනු ලබන පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්තායතන දෙක 2013 දෙසැම්බර් 31 දිනට බදු පෙර ලාභය වශයෙන් රු.මිලියන 1486 උපයා ඇති බවද පෙන්වා දෙයි. මෙම ආයතන දෙක 2011 වසරේදී රජයට පවරාගත් අතර, එයින් වැඩි ඵලදායීත්වයක් සහ උසස් සේවාවන් රැසක් උක් ගොවියන්ට සහ පොදුජනතාවට ලබාදීම අරමුණ විය. 2012 වසරේදී සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය පිහිටුවන ලද අතර, එයින් ප‍්‍රධාන කාර්යභාරය වූයේ 2020 වසර වන විට ශ‍්‍රී ලංකාව සීනිවලින් ස්වයංපෝෂිත කිරීමය.

මේ වනවිට ශ‍්‍රී ලංකාවට ආසන්න වශයෙන් වාර්ෂිකව සීනි මෙ.ටොන් 600,000ක් පමණ ආනයනය කරන අතර ඒ සඳහා රු.බිලියන 55කට වඩා වැඩි විදේශ විනිමයක් වැයකරන අතර, එම අගය දෙවැනි වන්නේ බොරතෙල් ආනයනයට පමණි. 2011 වසරේ වාර්තාවන්ට අනුව සීනි පරිභෝජනයේ ජාතික අවශ්‍යතාවට අනුව ජාතික නිෂ්පාදනය 4.8% වූ අතර 95% ප‍්‍රමාණයක් ඉන්දියාව, තායිලන්තය, බ‍්‍රසීලය වැනි රටවලින් ආනයනය කරන ලදී.

2012 ඔක්තෝබර් මස නැවත ස්ථාපිත වූ ලංකා සීනි සමාගම, පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්තායතන යටතේ පමණක් සිදුකළ නිෂ්පාදනයන් දෙගුණයක් කරමින් වසර දෙකක් තුළදී ජාතික අවශ්‍යතාවෙන් 10%ක ප‍්‍රමාණයක් සපුරාලීමට සමත්වූ බව පෙන්වා දෙයි. පැල්වත්ත සීනි කර්මාන්තායතනයට හෙක්ටයාර් 13,000ක වපසරියක් ඇති අතර, එයින් හෙක්ටයාර් 10,000කට වඩා වැඩි ප‍්‍රමාණයක් සහ සෙවණගල හෙක්ටයාර් 4,215ක වපසරියක් ඇති අතර, එයින් හෙක්ටයාර් 3,250 ප‍්‍රමාණයක් 2013 දෙසැම්බර් මාසය වනවිට උක් වගාව සඳහා යොදාගෙන ඇති බවද පෙන්වා දෙයි.

 



Recommended Articles