පලතුරු ප්‍රවර්ධන සතියක් හා පලතුරු සැණකෙළියක්


දේශීය පලතුරු පරිභෝජනය ඉහළ නංවමින් පලතුරු වගාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය සමග එක්ව විශේෂ වැඩසටහනක් ආරම්භ කරමින්, ජූලි 14 සිට 21 දක්වා පලතුරු ප‍්‍රවර්ධන සතියක් කි‍්‍රයාත්මක වන බව පවසයි.

ඊට සමගාමීව හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේ පලතුරු සැණකෙළියක් පැවැත්වීමටද  සැලසුම් කර තිබේ. 

මෙහිදී වෙළෙඳ පොළ තුළ පලතුරු සුලබ කිරීම සඳහා පලතුරු ගම්මාන ව්‍යාපෘතියක් ඇති කරමින් තෝරාගත් පලතුරු ගම්මාන කිහිපයක වගාකරුවන් සඳහා නොමිලයේ පලතුරු පැළ ලබාදීම කටයුතු කෙරෙන බවද පැවසෙයි. තවද පලතුරු ගස් පුනරුත්ථාපනය කිරීමේ ජාතික ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පුහුණු කිරීමේ නිලධාරීන් හට විශේෂිත කප්පාදු කිරීමේ උපකරණ කට්ටල ලබාදීමත් ජනාධිපතිවරයා අතින් සිදු කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

නිරෝගී ජීවිතයක් උදෙසා පලතුරු ආහාරයට එකතු කර ගැනීම ඉතා වැදගත් බවත්, පුද්ගලයෙකු දිනකට පලතුරු ග‍්‍රෑම් 200ක් වත් පරිභෝජනය කළ යුතු වුවත් බොහෝ දෙනා දිනකට එක් පලතුරක් හෝ තමන්ගේ ආහාරයට එක් කර ගැනීමට උනන්දු නොවීමෙන්, ශ්‍රී ලංකාවේ පලතුරු පරිභෝජනය ඉතා අවම මට්ටමක පවතින බව පැවසෙයි. 

ජූලි 14- 21 දක්වා පැවැත්වෙන පලතුරු සැණකෙළිය තුළ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ප‍්‍රදර්ශන කුටි රැසක් නැරඹීමට මහජනතාවට අවස්ථාව උදා වේ. ගුණාත්මක තත්ත්වයේ පැළ මිලදී ගැනීමටත් පොහොර, කෘෂි රසායනික හා උපකරණ මිලට ගැනීමටත් පලතුරු වගාව සම්බන්ධයෙන් නොමිලයේ උපදෙස් ලබා ගැනීමටත් මෙහිදී අවස්ථාව ලැබෙන බව පැවසෙයි. රාජ්‍ය සහ පෞද්ගලික අංශවල මූල්‍ය ආයතන මගින් පලතුරු ක්ෂේත‍්‍රය ආශි‍්‍රත මූල්‍ය උපදේශනය  හා පහසුකම් ලබාගැනීමටද පලතුරු සැණකෙළිය පැවැත්වෙන අවස්ථාවේදී ජනතාවට ඉඩ කඩ ලැබෙනු ඇති බව කියැවෙයි.

පලතුරු පැළ බද්ධ කිරීමේ ක‍්‍රමවේද, පැළ තවාන් පවත්වා ගෙන යාම, ගෘහ කර්මාන්තයක් ලෙස පලතුරු ආශි‍්‍රත නිෂ්පාදන සිදු කිරීම, අස්වැන්න නෙලීම හා ගබඩා කිරීම ආදි පලතුරු ක්ෂේත‍්‍රය ආශි‍්‍රත පුහුණු වැඩසටහන් හා සම්මන්ත‍්‍රණ සඳහා ද පලතුරු ප‍්‍රවර්ධන සතිය තුළ ඉඩකඩ වෙන් වී තිබේ. මෙම වැඩසටහන්වලට සහභාගී වී පලතුරු ක්ෂේත‍්‍රය ආශි‍්‍රත දැනුම වර්ධනය කර ගැනීමට පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය ජනතාවට ආරාධනා කරයි. 

 



Recommended Articles