නවීන සැම්සුන්ග් තාක්ෂණ විද්‍යාගාරයක් ශ්‍රී ලංකාවට


නවීනතම සැම්සුන්ග් තාක්ෂණ විද්‍යාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සමග සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් ශ්‍රී ලංකා ආයතනය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

සැම්සුන්ග් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ යොන්ග්මින් ෂින් සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ලයනල් පින්තු යන මහත්වරුන් විසින් මෙම ගිවිසුම අත්සන් කරන ලදී.

ඒ අනුව, මෙහි පළමු විද්‍යාගාරය වේයන්ගොඩ බණ්ඩාරනායක මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරිය තුළ ස්ථාපිත කෙරෙන අතර, අනෙක් පුහුණු මධ්‍යස්තානය ඉන් පසුව පිහිටුවීමට නියමිතය.

සැම්සුන්ග් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙන්නේ මෙම තාක්ෂණ විද්‍යාගාරය සම්පාදනය කිරීම ඉතා පුළුල් පුහුණු වැඩසටහනක් බවයි. එහිදී, රජයේ අනුමත කළ තාක්ෂණික පාඨමාලා සඳහා ලියාපදිංචි වී සිටින වෘත්තීය පුහුණු අධිකාරියේ සිසුන්ට ප්‍රතිලභ අත්වන බවද ඔවුන් කියයි. එහිදී, අමතර නිපුණතා හා දැනුම ලබාගැනීමටද, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික කර්මාන්තය ගැන අවධානය යොමු කරන විශේෂ වැඩසටහනකට සම්බන්ධ වීමටද සිසුන්ට අවස්ථාව සැලසෙන බවද කියයි. සැම්සුන්ග් ආයතනයේ ප්‍රවීණ තාක්ෂණවේදීන් ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, මයික්‍රෝවේව් උදුන්, වායුසමීකරණ යන්ත්‍ර, ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ, රූපවාහිනී යන්ත්‍ර, ජංගම උපකරණ හා වෙනත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලුත්වැඩියා හා නඩත්තු කරන ආකාරය පිළිබඳව සිසුන්ට පුළුල් දැනුමක් ලබාදෙනු ඇති බවද ඔවුන් කියයි. එහිදී, සිසුන් අත්කර ගන්නා දැනුම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික කර්මාන්තය තුළ විවිධ රැකියා අවස්ථා සොයා ගැනීමට අවශ්‍ය කරන න්‍යායික හා ප්‍රායෝගික පදනම සිසුන්ට ලබාදෙනු ඇති බවද එම ආයතනය වැඩිදුරටත් පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වා සිටි යොන්ග්මින් ෂින් මහතා, "ශ්‍රී ලංකාව තුළ දී සැම්සුන්ග් ආයතනය විශාල වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. එය වෙළෙඳ පොළ තුළ ප්‍රබල අවධානයක් දිනාගෙන තිබෙනවා. එනමුදු, ප්‍රමුඛ පෙළේ සමාගමක් ලෙස අප විශ්වාස කරන්නේ, දේශීය ප්‍රජාවගේ අවශ්‍යතාවන්ට සහාය වෙමින් අප අපේ සමාජීය වගකීම්ද ඉටුකළ යුතු බවයි. සැම්සුන්ග් තාක්ෂණ විද්‍යාගාරය මගින් සිසුන්ට ලෝක මට්ටමේ වෘත්තීය අධ්‍යාපනයක් සම්පාදනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ හරහා උසස් තත්ත්වයේ තාක්ෂණවේදීන් හා යාන්ත්‍රිකයන් වීමට අවශ්‍ය කරන නිපුණතාවලින් ඔවුන් සන්නද්ධ වේවි. මේ මුලපිරීම දියත් කිරීමට අපට අවස්ථාවක් ලබාදීම ගැන නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අපගේ ස්තූතිය පුද කිරීමට අප කැමතියි." යනුවෙන් පවසා සිටියේය.



Recommended Articles