දේශගුණ විපර්යාසයන්ගෙන් ශ්‍රී ලංකාව සුරකින්නට සැරසේ


සංවර්ධනය වෙමින් පවත්නා රටවල වනාන්තර විනාශයෙන් හා වන හායනයෙන් සිදු කෙරෙන්නාවූ විමෝචනයන් අවම කිරීම අරමුණු කරගත් එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහන වන REDD+ වැඩසටහනේ සහයෝගය ඇතිව සංවර්ධනය වෙමින් පවතින රටවල් 64ක දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම්වලට එරෙහි වනාන්තර කේන්ද්‍රීය ජාතික ප්‍රතිපත්ති රාමු ක්‍රියාත්මක කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම ජාත්‍යන්තර පරිසර හිතකාමී වැඩසටහන, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන (UNEP) යන වැඩසටහන් වෙතින් තාක්ෂණික හා බුද්ධිමය දායකත්වය ලබා 2008 වසරේ සිට ක්‍රියාත්මක වන්නකි. 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලය රාජ්‍ය ආයතන සියල්ල එකමුතුව දෙස් විදෙස් වනාන්තර සුරැකීම පිළිබඳ පිළිගත් සම්මුතීන් අනුව සකසනු ලැබූ 'ජාතික REDD+ ආයෝජන සැලසුම හා ක්‍රියාකාරී සැලැස්ම' (NRIFAP) මෙරට වනාන්තර කේන්ද්‍රීය ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස ක්‍රියාත්මක කරමින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගතහැකි පරිසර හිතකාමී වැඩසටහනක් බවද ඔවුහු පෙන්වා දෙති.

'ජාතික REDD+ ආයෝජන සැලසුම හා ක‍්‍රියාකාරී සැලැස්ම' (NRIFAP) හි පළමු වැනි පිටපත, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක උනා මැකැඋලි මෙනෙවිය විසින්, 2017 මැයි මස 09 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ හිදී පැවැති උත්සවයකදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් පිරිනැමීම සිදුවිය.

ඇ.ඩො.මිලියන 99ක ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපාදන සමග 5 අවුරුදු සැලැස්මක් ලෙස ශ්‍රී ලංකා රජය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම NRIFAP වැඩසටහන සුවිශේෂී වනාන්තර කේන්ද්‍රීය ක්‍රියාකාරී සැලසුම් 13කින් සන්නද්ධ බවද ඔවුහු පවසති.



Recommended Articles