ඩිජිටල් ලෝකය සිලිකන් හැර ජීවජාන යොදාගැනීමක් ළඟයි


ඩිජිටල් හෙවත් ද්වීකේතක ලෝකය දත්ත ගබඩාකිරීම සඳහා සිලිකන් වෙනුවට ජීවජාන යොදාගන්නා යුගයක් අත ළඟ එන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය තොරතුරු සන්නිවේදන සමුළුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ අවස්ථාවේදී හෙතෙම මෙසේ අදහස් දැක්වීය. එය ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) විසින් සංවිධානය කර තිබිණි.

"නුතන ලෝකයේ වැදගත්ම ප්‍රවණතාවක් වන්නේ තාක්ෂණ ප්‍රවාහයන් එකට මුසුවී සංවාස වී නව තාක්ෂණයන් බිහිවීමයි. දත්ත සැකසීම හා සන්නිවේදනය මුසුවී තොරතුරු තාක්ෂණය හා සයිබර් අවකාශය බිහිවුණා. එමගින් නව මිනිස් සබඳතා සහිත පාරලෝකයකට (Hyper Reality) මග පැදුනා. ජීව තාක්ෂණය හා ජාන තාක්ෂණය ඉදිරියට යද්දී පෙනී ගියේ ජීවජාන දත්ත අතිවිශාල ප්‍රමාණයක් ගබඩාකර ගැනීමට හැකියාව ඇත්තෙක් බවයි. ඒ අනුව, ඉදිරියේදී පරිගණකවල දත්ත ගබඩාකරලීමට සිලිකන් වෙනුවට ජීවජාන යොදාගැනීම සඳහා පර්යේෂණ සිදුවෙනවා. තෙතමනය සහිත තාක්ෂණයන්  (Wet Technologies) සහ වියළි තාක්ෂණයන් (Dry Technologies) හා සංවාසවීම ලොව නවතම ප්‍රවනතාවයයි. ජීව හා ජාන තාක්ෂණය, නැනෝ හා ක්වන්ටම් තාක්ෂණය මගින් තොරතුරු තාක්ෂණයේ නව විප්ලවීය පරිවර්තනයක් වෙමින් පවතින අතර එය නිර්මාණ, කර්මාන්ත, වෙළෙඳ පොළට ආදියට බලපාමින් නව කාර්මික විප්ලවයක එළිපත්තට ලෝකය ඇදදමා තිබෙනවා. ශ්‍රී ලංකාවද වහාම මේ නව කාර්මික විප්ලවයට ඇතුළු වී සිය ආර්ථීක උපාය මාර්ගය ලෙස නවෝත්පාදනය යොදාගත යුතුව තිබෙනවා"  ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

 



Recommended Articles