ජාත්‍යන්තර වෙළඳ පොළට ව්‍යවසායිකාවන්ට අවස්ථා


දේශීය ව්‍යාපාරයන්හි නිරත ව්‍යවසායිකාවන්, ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත ප්‍රවේශ කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සුවිශේෂී ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබේ.

ඒ යටතේ දිවයින පුරා විසිර සිටින, අපනයන ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන ව්‍යවසායිකාවන් දැනුම්වත් කිරීම වෙනුවෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කොට ඇති අතර, එය 2017 මැයි මස 25 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා කොළඔ 02, නවම් මාවතේ, අංක 42 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ 3 වැනි මහළ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

අපනයන පිළිවෙත් හා කාර්ය පටිපාටි හඳුන්වා දීම, ව්‍යාපාරයකදී තොරතුරුවල වැදගත්කම අවධාරණය කිරීම, ගෝලීය අගය දාමයන්ට ප්‍රවිශ්ඨ වීමට අවස්ථා උදාකර ගන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුම්වත් කිරීම මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ අවස්ථා හා ප්‍රවණතා පිළිබඳ දැනුම්වත් කිරීමත්, අපනයන අත්දැකීම් බෙදාහදා ගැනීමට මඟ සලසා දීමත් මෙම සම්මන්ත්‍රණයේදී සිදුකරනු ඇත.

වර්ෂ 2020 දී නව අපනයනකරුවන් 2,000ක් බිහිකිරීමේ රජයේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී දැනුම්වත් කෙරෙනු ඇති අතර, මෙය අපනයන වෙළෙඳ පොළට ප්‍රවිශ්ඨ වීමට වනිතාවන්ට උදාවන අගනා අවස්ථාවක් වනු ඇති බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධනය මණ්ඩලය වැඩිදුරටත් පවසයි. 

 



Recommended Articles