චීනයේ චොංකින් වෙත ශ්‍රී ලංකන් ගුවන්ගමන් අරඹයි


ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම චීනයේ සිචුආන් කලාපයට විශේෂයෙන් වෙන්කරවා ගත් කුලී ගුවන් යානා (charter flights) ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු යොදා ඇති බව පවසයි. චීනය  සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව 2014 ජූලි මස 01 වැනිදා සිට ශ්‍රී ලංකන් ගුවන් යානා කොළඹ සිට චොංකින් වෙත මෙහෙයුම් සිදුකරන බවත් එය නැවත පැමිණීමේ දී බැංකොක් හරහා කොළඹට ළඟාවීමට සැලසුම් කර ඇති බවත් කියයි.

චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම (Chongqing Huapont International Travel Service Co. Ltd.) හා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නව ගිවිසුම සඳහා අත්සන් කිරීම පසුගිය 8 වැනිදා කොළඹදී සිදුකරන ලදී.

මේ වනවිට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම චීනයේ බීජිං, ෂැංහයි, කැන්ටන් සහ හොංකොං යන ගමනාන්ත සඳහා සතියකදී ගුවන් ගමන් 15ක් සිදුකරන අතර, මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමග නිරිතදිග චීනයට ශ්‍රී ලංකන් ගුවන් යානා පියාසර කිරීමද මේ අනුව සනිටුහන් වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ මේ වනවිට චීනය අපගේ ප්‍රධාන වෙළෙඳ පොළක් ලෙස හඳුනා ගෙන ඇති ‍බැවින් නව ගමනාන්ත හඳුන්වා දෙමින් ගුවන් ගමන් වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිරන්තරයෙන් කටයුතු කරන බවයි.



Recommended Articles