ගමේ ප්‍රතිපාදනවලින් ඉලක්ක සපුරා ගන්න -ඇමති අමුණුගම


රජය විසින් ගම්වලට දෙනු ලබන මූල්‍ය ප්‍රතිපාදනවලින් නිසි  ඵල ලබාගැනීමට ක්‍රියාකළ යුතු බවත්, එසේ නොවන අවස්ථාවලින් නිසි මහජන සේවාවක් ඉටු නොවන බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය  සහ මුදල්  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුඹුරේගම, දියපලාගොඩ ප්‍රජා ශාලාවට මුල්ගල තැබිමේ අවස්ථාවට එක්වෙමිනි.

රජය විසින් විවිධ ව්‍යාපෘති සඳහා ගම් නඟා සිටුවීමටත්, ගැමි ජනතාවගේ ජිවන තත්ත්වය නඟා සිටුවීම උදෙසාත්  මුදල් ප්‍රතිපාදන ලබාදෙනවා. ඒ යටතේ ලක්ෂ 10ක මුදලක් මාර්ග තැනීම සඳහා ලබාදෙනවා. මෙසේ ලබාදෙන මුදලින් උපරිම ප්‍රතිඵලයක් ලබාගැනීමට ගමේ එම සමිති සංවිධාන අදාල රාජ්‍ය නිලධාරීන් සමඟ එක් වී අනෝන්‍ය  සහයෝගිතාවයෙන් හා අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි. රු.ලක්ෂ 10ක මුදල තුළින් දෙගුණයක, තෙගුණයක  වැඩක් කිරීමට ගැමි ජනතාවට පුළුවන්. එසේ වන්නේ ශ්‍රමය හා අනෙකුත් නොමිලේ ලබාදිය හැකි දෑ මෙම කාර්යයට සංවිධානය කර ගැනීමෙනුයි. එලෙස ලැබෙන මුදලට වඩා දෙගුණයක්, තෙගුණයක් වැඩ කරන සංවිධාන, නිලධාරීන් හා ගැමියන් අපේ රටේදී දැකගැනීමට පුළුවන්. ඒ ගැමියන්, නිලධාරීන් හා සංවිධාන රටට ආදර්ශයක් බව කිව යුතුයි.

 



Recommended Articles