ගංවතුරින් විපතට පත්වූවන්ට ණය මුදල් සඳහා සහනයක්


ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල පදිංචි ජනතාව විසින් පුද්ගලික හා රාජ්‍ය යන කවර බැංකුවකින් හෝ ලබාගෙන ඇති පුද්ගලික හෝ ව්‍යාපාරික ණය නැවත ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29දා) පැවති රැස්වීමකදී තීරණය කර තිබේ.

ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල හානියට පත් ව්‍යාපාරික කටයුතු නැවත නගාසිටුවීම සඳහා ගතයුතු පියවර සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන්, මූල්‍ය ආයතන හා කල්බදු ආයතන ප්‍රධානීන් අරලියගහ මැදුරේදී මෙම රැස්වීමට සහභාගී වූ බවත්, මෙම බැංකු ණය සහනය සම්බන්ධයෙන් චක්‍රලේකයක් නිකුත් කරන ලෙස අදාළ අමාත්‍ය කමිටුව මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදුන් බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එමෙන්ම, සෞභාග්‍ය සහ ස්වශක්ති ණය යෝජනා ක්‍රම හරහා ආර්ථිකය නැවත නගාසිටුවීම සඳහා අවශ්‍ය කරන සියලු මුදල් එම ණය යෝජනා ක්‍රම සඳහා නිකුත් කරන ලෙසටද අගමැතිවරයාගේ නියමය පරිදි මෙහිදී භාණ්ඩාගාර ලේකම්වරයා වෙත දැනුම්දී තිබේ.

මීට අමතරව, ගංවතුරින් හානි වූවන් සඳහා ගෙවිය යුතු රක්ෂණ වන්දි මුදල් ගෙවීම කඩිනම් කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙහිදී සියලුම රක්ෂණ සමාගම් වෙතද, රාජ්‍ය රක්ෂණ මණ්ඩලය වෙතද වැඩිදුරටත් නියම කර තිබේ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, තිලක් මාරපන, ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරු සහභාගී වී ඇත.   



Recommended Articles