දේශගුණ විපර්යාස හා කෘෂිකර්මාන්තය, ඊට අනුවර්තනය වීම හා එහි බලපෑම් අවම කර ගැනීම මැයෙන් ජාත්‍යන්තර වැඩමුළුව අද (22දා) සිට 26 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
1962දී පිහිටුවා ගන්නා ලද ආසියා අප්‍රිකා ග්‍රාමීය සංවර්ධන සංවිධානය (AARDO) කලාපීය සමාජික රටවල් කිහිපයකින් සමන්විත අන්තර්ජාතික ස්වේච්ඡා සංවිධානයක් වන අතර, 2013 ජනවාරි සිට ශ්‍රී ලංකාවද මෙම සංවිධානයේ සාමාජිකත්වය දරයි. ඒ අනුව ආසියා අප්‍රිකා ග්‍රාමීය සංවර්ධන සංවිධානය මෙරට කෘෂිකර්ම අමාත්‍යාංශය සමග එක්ව මෙය සංවිධානය කර තිබේ.
මේ සම්බන්ධ කාරණා ඉදිරිපත් කිරීම්, සාකච්ඡා කිරීම් හා අනාවරණ චාරිකා තුළින් දේශගුණ විපර්යාස හා එහි බලපෑම් පිළිබඳව සාමාජිකයන්ගේ දැනුම හා අවබෝධය පුළුල් කිරීම මෙම වැඩමුවවේ අරමුණ වී තිබේ. දේශගුණ විපර්යාසවල බලපෑම් අවම කරගැනීම සඳහා යෝග්‍ය කෘෂිකාර්මික ක්‍රම සමාලෝචනය කිරීම හා තක්සේරු කිරීම, ආහාර සුරක්ෂිතතාව කෙරෙහි දේශගුණ විපර්යාසවල බලපෑම් අවම කිරීම හා අනුවර්තන ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම, එහිලා මේ දක්වා ඇති එකි ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සමාලෝචනයට ලක්කිරීම මෙන්ම ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීම යනාදී කාර්යයන්ද එහිදී සාකච්ඡාවට බඳුන් වේ.
බංග්ලාදේශ්, චීනය, ඝානාව, ඉන්දියාව, ඉරාකය, ජෝර්දානය, ලෙබනනය, මැලේසියාව, මලාවි ජනරජය, නයිජීරියාව, ඕමානය, පකිස්තානය, ශ්‍රී ලංකාව, සූඩානය, යේමනය සහ සැම්බියාව යන රටවලින් නියෝජිත කණ්ඩායම් 17ක් මෙම වැඩමුළුවට සහභාගීවීමට නියමිතය.
එමෙන්ම, ඉන්දියාව, සැම්බියාව, ශ්‍රී ලංකාව යන රටවලින් සම්පත් දායකයන් 05 දෙනෙක්ද සංවිධානයේ නිලධාරීන් 03 දෙනෙක්ද සහභාගි වනු ඇති අතර, එහි සමාරම්භක උත්සවය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) ගල්කිස්ස මහ හෝටලයේදී ඇරඹේ.