කියුබානු ජෛව හා නැනෝ තාක්ෂණයන් මෙරටටත් වැදගත් - එස් බී


කියුබාව සාර්ථක ප්‍රතිඵල ලබා සිටින ජෛව හා නැනෝ විද්‍යා තාක්ෂණයන් ප්‍රධාන තැනක් ගන්නා බවත් එමගින් ශ්‍රී ලංකාවට සිය විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ හැකියාවන් දියුණු කර ගැනීමට අවස්ථාව ලැබෙන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.

එස්.බී.දිසානායක මහතා  කියුබා‍වේ විද්‍යා තාක්ෂණ සහ පරිසර ඇමති එල්බා රොසා පෙරේස් මොන්ටොයා  මහතා හමුවූ අවස්ථාවේදී මෙසේ අදහස් දක්වා තිබේ.

මෙහිදී, සංවර්ධනය වන රටවල් සිය නිපුණතා, පර්යේෂණ, විද්‍යා හා තාක්ෂණ දැනුම පරිසරය රැකගනිමින් තිරසාර සංවර්ධන වෙනුවෙන් වර්තමානයට අවශ්‍ය පරිදි වැඩිදියුණු කර ගැනීමේදී සහ නවීකරණය කර ගැනීමේදී මුහුණ දෙන අභියෝග පිළිබඳවද අමාත්‍යවරු දෙපළ සාකච්ඡා කර තිබේ.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා  කියුබා‍වේ උසස් අධ්‍යපන ඇමති රොඩෙල්පෝ අලර්කොන් ඕටිස් මහතා සමග  උසස් අධ්‍යාපන ‍අංශයේ සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගනිමින් උසස් අධ්‍යාපන ආයතනවල ඇති අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කළේය.

පසුගියදා  කියුබාවේ පැවති උසස් අධ්‍යාපනය පිළිබඳ අන්තර්ජාතික සමුළුට සහභාගිවූ අවස්ථාවේදී ඔහු මෙම සාකච්ඡාව පවත්වා තිබුණි. මෙහිදී දෙරටට ප්‍රතිලාභ අත්වන ක්ෂේත්‍රවල ශිෂ්‍ය සහ විශේෂඥයන් හුවමාරු කරගැනීමේ ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම කෙරෙහිද අවධානය යොමු කෙරුණු බව පැවසෙයි. 



Recommended Articles