කිතුල් ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීම් ලක්සලින්


කිතුල් ආශ්‍රිත ගෘහ භාණ්ඩ, විසිතුරු භාණ්ඩ ඇතුළු අනෙකුත් නිෂ්පාදන ලක්සලට මිලදීගෙන එම නිෂ්පාදකයින්ට සාධාරණ මිලක් ලබා දීමට කටයුතු කරන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.

පසුගියදා කොළඹ සුදර්ශි ශාලාවේ පැවති "කිතුලක වරුණ" ප්‍රදර්ශනයේ සමාරම්භක දින ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් පැවති උත්සවයේදී අමාත්‍යවරයා විසින් ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතාට මෙසේ උපදෙස් ලබාදී තිබේ.

මෙම ප්‍රදර්ශනය හා උත්සවය සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබූ අතර ප්‍රදර්ශනයේ සමාරම්භක දින ප්‍රධාන අමුත්තා ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් යන මහත්වරු සහභාගී වූ අතර එම අමාත්‍යවරුන් පිළිගැනීම සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතින් සිදුවිය.

මෙහිදී මෙම ප්‍රදර්ශනයේ තිබූ 50කට අධික ප්‍රදර්ශන කුටිවල සංචාරය කළ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරු එම නිෂ්පාදකයින් දිරිගැන්වීම සඳහා ඔවුන්ට අවශ්‍ය රජයේ සහයෝගය කුමක්දැයි විමසා සිටියහ. එහිදී මෙම නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා සාධාරණ වෙළෙඳ පොළක් ලබාගැනීමේ අවශ්‍යතාව ඔවුන් පවසා සිටි නිසා, ඒ සඳහා ලක්සලට මැදිහත් වන ලෙස එහිදී ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතාට බැසිල් රජපක්ෂ අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට විශේෂයෙන් පැමිණි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ හිටපු නේවාසික අධ්‍යක්ෂ රිචඩ් පෝස්ට් මහතා ප්‍රකාශ කළේ තමන් බිත්‍රාන්‍යයට කිතුල් නිෂ්පාදන ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බවය. 

 

 



Recommended Articles