ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සාර්ථකව පැවැත්වේ


ඉන්වෙස්ට් ශ්‍රී ලංකා අන්තර්ජාතික වැඩමුළුවන්හි නිව්යෝක් ආයෝජක සමුළුව 2014 සැප්තැම්බර් මස 04 වැනිදා ඇමෙරිකාව් නිව්යෝක් නුවර ජේ.ඩබ්. මැරියට් එසෙක්ස් හවුස් හොටලයේදී සාර්ථකව පැවැත්වුණු බව වාර්තා වෙයි.

මෙම ආයෝජක සමුළුව වෙනුවෙන් ආයෝජන කළමණාකරුවන් 190ක පමණ පිරිසකගේ සහභාගීත්වය ලැබී තිබුණු අතර, එය අතිශය ඉහළ සහභාගීත්වයක් බවද වාර්තා වෙයි.

නිව්යෝක් ආයෝජක සමුළුවේ සමාරම්භක දේශනය ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සිදුකළ අතර, මෙම වැඩමුළුවට ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහභාගි වූහ.

මෙහිදී, මෝගන් ස්ටැන්ලි ආයෝජන කළමනාකරණ සමාගමේ නැගී එන වෙළෙඳ පොළ අංශ ප්‍රධානී රුචිර් ශර්මා මහතා ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය ඉතා දීප්තිමත් බවත් එහි ආයෝජනයෙන් විශාල ප්‍රතිලාභ අත්පත් කරගත හැකි බවත් පවසා සිටියේය.

එමෙන්ම, මෙම සමුළුව අතරතුර පැවති විද්වත් සාකච්ඡාවේදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති වජිර කුලතිලක යන මහත්වරුන් ඉතා වටිනා අදහස් ඉදිරපත් කර තිබුණි.

නිව්යෝක් ආයෝජක සමුළුව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ, වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු වාණිජ මණ්ඩලය සමග ඒකාබද්ධව උතුරු ඇමරිකාවේ සංවිධානය කළ ප්‍රථම ආයෝජක සමුළුව වෙයි.



Recommended Articles