ඇස්බැස්ටෝස් පිළිබඳ දැනුම ව්‍යාප්ත කරයි


මෙරට ඉදිකිරීම අංශයේ ප්‍රධානතම සංවිධානය වන ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 'ඇස්බැස්ටෝස් - ක්‍රිසොටයිල් සෙවිලි තහඩු භාවිතය පිළිබඳ පරිසිද්ධි' යන්නෙන් විශේෂ සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීය. සියලු ඇස්බැස්ටෝස් අඩංගු නිෂ්පාදන තහනමට ලක්කිරීමට ගෙන ඇති තීරණය හමුවේ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය ඉදිකිරීම් අංශයේ වගකිව යුතු නියෝජිතයා වශයෙන් අන්තර්ජාතික මෙන්ම දේශීය විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම සමුළුවේදී ඒ හා සම්බන්ධ වැදගත් කරුණු සාකච්ඡාවට බඳුන් විය.

මෙම සම්මන්ත්‍රණය සඳහා ක්‍රිසොටයිල් තොරතුරු කේන්ද්‍රයද තම දායකත්වය දක්වන බව සඳහන් විය. ක්‍රිසොටයිල් තොරතුරු කේන්ද්‍රය පිහිටුවා ඇත්තේ ක්‍රිසොටයිල් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු, මහජන දැනුවත් කිරීම් හා වගකීම් සහිත ක්‍රිසොටයිල් භාවිතයට අදාළ වෙනත් සහාය ලබාදීමටය. එම සංවිධානය මගින් කම්කරුවන්, නිෂ්පාදකයන්, මහජනතාව, රජයන් හා අනෙකුත් සම්බන්ධකම් ඇති පාර්ශ්ව සඳහා ක්‍රිසොටයිල් භාවිතය හා පරිහරණය පිළිබඳ තොරතුරු ලබාදෙන අතර, ආරක්ෂක පරිහරණ ක්‍රමවේද භාවිතය පිළිබඳවද අවධාරණය කරනු ලබයි. දේශීය නිෂ්පාදකයන්,රාජ්‍ය නියාමන හා පාලන ආයතන සමග ක්‍රිසොටයිල් භාවිතයේ දී සුරක්ෂිතතාව පිළිබඳ දැනුම ව්‍යාප්ත කිරීමට කටයුතු කරන මෙම ආයතනය තායිලන්තය, මැලේසියාව, ලාඕසය, වියෙට්නාමය, කාම්බෝජය, පිලිපීනය, ශ්‍රී ලංකාව හා පකිස්තානය යන රටවල ක්‍රියාකරන බවද මෙහිදී සඳහන් කෙරිණි.

මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ මහ ලේකම් හා ප්‍රධාන විධායක නිලධාරී නිස්සංක එන්. විජේරත්න මහතා කියා සිටියේ ඉදිකිරීම් අංශයේ ප්‍රධානතම සංවිධානය වශයෙන් තම සංවිධානය නියම ආර්ථික හා සෞඛ්‍යමය බලපෑම් සැසඳීමෙන් තොරව මෙසේ සියලු ඇස්බැස්ටෝස් වර්ග හා නිෂ්පාදන තහනමට ලක්කිරීමේ ඇති අහිතකර තත්ත්ව  පිළිබඳව සැලකිල්ලක් දැක්වූ බවයි. ඒ නිසා ජාත්‍යන්තර හා දේශීය විශේෂඥයන් සමග ඇස්බැස්ටෝස් භාවිතය, සෞඛ්‍යමය සාධක හා ආදේශන පිළිබඳ ඇගයීමකට පිවිසීමට උනන්දුවක් දැක්වූ බවද ඒ මහතා කියා සිටියේය. එමෙන්ම, තවත් ප්‍රවීණ කථිකයන් මෙම සම්මන්ත්‍රණයට සහභාගීවීම තම ආයතනයේ භාග්‍යක් ලෙසද ඒ මහතා පෙන්වා දුන්නේය.

ලෝක ප්‍රකට විද්‍යාඥයෙකු වූ, වෛද්‍ය ඩේවිඩ් එම්. බ්‍රින්ස්ටීන් මහතා විසින් 'ක්‍රිසොටයිල්හි සෞඛ්‍ය ගැටලු වෙත නැවත පිවිසෙමු' යන මැයෙන් මෙහිදී පුළුල් අදහස් දැක්වීමක නිරත විය. ශ්වසන විෂ රසායන විද්‍යාව අධ්‍යනය පිළිබඳ වසර 35 කට අධික අත්දැකීම් සමුදායක් ඇති ඔහු, ඖෂධ හා රසායන විෂ ආශ්‍රිත බලපෑම් හැදෑරූවෙකු බව එහිදී සඳහන් කෙරිණි.

එමෙන්ම, ලෝක ක්‍රිසොටයිල් සංගමයේ නීති උපදේශක එමිලියානෝ අලෝන්සෝ මහතා 'WHA/WHO යන සංවිධානවල ක්‍රිසොටයිල් පිළිබඳ ව්‍යුහය' යන තේමාව යටතේ සාකච්ඡාවක් මෙහෙයවීය. සම්මන්ත්‍රණයේ දෙවෙනි සැසිවාරයේදී ඉන්දියාවේ සෞඛ්‍ය නිලධාරීවරයෙක් ලෙස කටයුතු කරන දොස්තර විවෙක් චන්ද්‍ර රාඕ මහතා දත්ත හා නියම සිද්ධි සාකච්ඡාවට බඳුන් කරමින් දැනට ඉන්දියාවේ ක්‍රිසොටයිල් සම්බන්ධ රෙගුලාසි හා තත්ත්වය පැහැදිලි කළේය. සම්මන්ත්‍රණෙය් අවසාන කාරණය ලෙස ඇස්බැස්ටෝස් සඳහා පවතින ආදේශන පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.එම්.ඒ. නානායක්කාර මහතා විශේෂ පැහැදිලි කිරීමක් කළේය.








Recommended Articles