අයවැයෙන් මාසික වැටුප් ලබන්නන්ට බර පැටවීමක් නෑ - මුදල් අමාත්‍යාංශය


මෙවර විප්ලවීය අයවැයක් ඉදිරිපත් කරන බවට අනාවැකි පළකර තිබුණත්, මාසික වැටුප් ලබන පිරිස මත කිසිදු බර පැටවීමක් මෙවර අයවැය මගින් සිදුනොවන බවත්, මෙය ජන ජීවිතය ඉතා පහසු කරවන අයවැයක් බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙවර අයවැය යෝජනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සිදුකළ ප්‍රකාශයක් ගෙනහැර දක්වමින් මුදල් අමාත්‍යාංශය මෙම නිවේදනය කරයි.

මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, නිදහස් ශ්‍රී ලංකා ඉතිහාසය මුළුල්ලේම ජනප්‍රියත්වය අපේක්ෂාවෙන් ජාතික අවශ්‍යතා අභිභවා ගිය තීරණ ගැනීම හේතුවෙන් අද වනවිට ශ්‍රී ලංකාවේ අයවැය යනු ණයෙන් පටන් ගෙන ණයෙන් අවසන් අයවැයක් බවට පත්ව ඇති බවයි.

එහිදී, සමස්ත රාජ්‍ය ආදායම රු.බිලියන 1,400ක් වනවිට, ඉන් 65% ක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් (රු.බිලියන 600ක්) හා රාජ්‍ය විශ්‍රාමිකයන්ට ගෙවීම් කිරීම සඳහා (රු.බිලියන 170ක්) වැය කිරීම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකි බවද අමාත්‍යාංශය කියයි. එමෙන්ම, මෙම රාජ්‍ය ආදායම තවත් පැතිකඩකින් ගණනය කරන විට එහි 93% ක් එනම් රු.බිලියන 1,300ක් පමණ වාර්ෂික ණය ගෙවීම සඳහා යොදාගැනීමට සිදුව තිබෙන බවද අමාත්‍යාංශය කියයි. මේ තත්ත්වය මත රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා විප්ලවීය පියවර රැසක් ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ආදායම් බදු ගෙවිය යුතු ඉහළ ආදායම් ලබන පිරිසෙන් 60%ක් පමණ ආදායම් බදු නොගෙවන බව වාර්තා වී ඇති බැවින් ඔවුන්ගෙන් බදු මුදල් අයකර ගැනීම සඳහා පියවර ගැනීමට නියමිත බවද මුදල් අමාත්‍යාංශය මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.



Recommended Articles