අන්තර්ජාල තහනම විසඳුම නොවේ - සියඹලාපිටිය


අන්තර්ජාලය සමාජයට අහිතකර ලෙස පරිහරණය කිරීමට විසදුම තහනම නොවන බව විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසයි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සයිබර් ආරක්ෂණය පිළිබඳ 7 වැනි වාරෂික සමුළුව අමතමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"අන්තර්ජාලය සමාජයට අහිතකර ලෙස පරිහරණය කිරීමට විසඳුම එය තහනම නොවෙයි. අන්තර්ජාලය මෙන්ම සමාජජාල වෙබ් අඩවි සමාජ හිතවාදී ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව මනා ලෙස දැනුම්වත් කිරීම් මගින් ගැටලු ඇතිවීම අවම කරගැනීමට පුළුවන්.

දශක කිහිපයක් රට වෙලාගෙන තිබු අති බිහිසුණු යුද්ධයෙන් රට බේරා ගැනීමේ මෙන්ම රටේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ දැනුම ඉහළ නැංවීමේ අභියෝගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සාර්ථකව ජයගෙන තිබෙනවා" යැයි පවසා සිටියේය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඒකාබද්ධව මෙම ජාතික සමුළුව සංවිධානය කර තිබිණි.

 

 

 

  



Recommended Articles