අන්තර්ජාලය තුළින්බදු ගෙවීම කොළඹින් ඇරඹේ


පළාත් පාලන ආයතන මගින් අය කෙරෙන වරිපනම් ඇතුළු වාර්ෂික බදු මුදල් ගෙවීම අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීම ප්‍රථම වරට අද (8දා)  පෙරවරුවේදී කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ විය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙය ක්‍රියාවට නංවා ඇත.

ව්‍යපාර බදු, ව්‍යාපාර බලපත්‍ර ගාස්තු, නාගරික කුලී නිවාස ගාස්තු ඇතුළු බදු වර්ග 7ක් මේ අනුව ජනතාව‍ට  අන්තර්ජාලය ඔස්සේ ගෙවීමට හැකිවන බව පැවසෙයි.

පළාත් පාලන හා පළාත් සභා ඇමැති ඒ.එල්.එම්.අතාවුල්ලා, පුරපති ඒ.ජේ.එම්.මුසම්මිල්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සේවාව නිල වශයෙන් ආරම්භ කළේය.

මේ සේවාව තුළින් තමන් ගෙවන ලද සහ ගෙවීමට නියමිත බදු මුදල් පිළිබඳ විස්තරද අන්තර්ජාලය ඔස්සේ දැනගැනීමට හැකි අතර, ගෙවනලද බදු මුදල් සදහා අන්තර්ජාලය මගින්ම විද්‍යුත් ලදු පතක් නිකුත් කෙරෙන බවද පැවසෙයි.

මෙහිදී අදහස් දැක්වූ පළාත් පාලන හා පළාත් සභා ඇමැති ඒ.එල්.එම්.අතාවුල්ලා මහතා සදහන් කළේ ජනතාවට වඩා කාර්යක්‍ෂම සේවාවක් ලබාදීම පළාත් පාලන ආයතනයක ප්‍රධාන අරමුණ වියයුතු බවත්, වත්මනට ගැළපෙන නව ක්‍රමෝපායන් ඒ සඳහා යොදාගැනීමට පියවර ගැනීම වඩාත් උචිත බවත්ය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂ වසන්ත දේශප්‍රිය මහතා මෙහිදී සදහන් කළේ  ඉ-රාජ්‍ය සේවාවේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ වඩාත් මිත්‍රශීලී, කාර්යක්‍ෂම පුරවැසි සේවාවක් ලබාදීම බවත්,ජගත් තොරතුරු තාක්‍ෂණ සුදානම් දර්ශකයේ ශ්‍රී ලංකාව තවදුරටත් ඉදිරියට යෑම මෙවැනි පහසුකම් ලබාදීම ඉවහල් වන බවත්ය.

www.cmc.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පහසුකම ලබාගැනීමට හැකි බව ICTA පවසයි.

 

 

 



Recommended Articles