’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’


දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගීණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බව දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා ඊයේ (11) මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී පැවසීය.

කර්මාන්ත හා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය සහ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමේ දී අස්වැසුම සමාජ සූබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේ දී එම කරුණු අනාවරණය විය.

“මම මේ විෂයට අදාල රාජ්‍ය නිලධාරියෙකු නොවුනත් මෙතන ඊට අදාල නිලධාරීන් ඉන්න නිසා රජයට බදු ගෙවන පුරවැසියෙකු ලෙස මේ දේ කියන්න කැමතියි.මොකද මගේ පඩියෙනුත රුපියල් පහලොස් දහසක් බදු විදියට කැපෙනවා.මගේ මිතුරන් කිහිප දෙනෙකුම ඉන්නවා බැංකු කලමණාකරුවන් ලෙස සේවය කරන.ඔවුන් මට වගකීමෙන් කියා තිබෙනවා සමහර අස්වැසූම් ප්‍රතිලාභ ලබා ගැනීමට තමන්ගේ බැංකුවට එන අයට රුපියල් මිලියන තුන හතර ස්ථාවර තැන්පතු තිබෙන බව.

අස්වැසුම මුදල් මාසිකව ගන්න ගමන් සමහරු ඒ ස්ථාවර තැන්පතු වල මාසික පොලියත් ලබා ගන්නවා.අස්වැසුම ගීණුම හීමි ප්‍රතිලාභියාගේ ජාතික හැදුනුම්පත් අංකය යටතේම එම ස්ථාවර තැන්පත් ගිණුමත් තිබීම විශේෂයි.බැංකු වලට මේ තොරතුරු දෙන්න යාන්ත්‍රණයක් නෑ.ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්”

ඊට පිළිතුර ලෙස අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කලේ දැනට අස්වැසුම් ප්‍රතිලාභ ලබා ගන්නා සියලුම ප්‍රතිලාභීන් ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නැවත සමාලෝචනය කිරීම සදහා ලබා දෙන ලෙසයි.ඉන් පසු අදාල පියවර ගත හැකි බවද ඒ මහතා අවධාරණය කළේය. 

ක්‍රිෂාන් ජිවක ජයරුක්



Recommended Articles