ළමා කතාන්දර පොත් අස්සේ කොටි 23ක කොකේන් එවලා


 රුපියල් කෝටි විසි තුනක් (මිලියන 230 ක් ) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , කුඩා දරුවන් කියවන ලොකු ඉංග්‍රීසි අකුරු සහිත ළමා කතාන්දර පොත් 08 ක , පිටකවර තුළ සගවා , විදේශීය කාන්තාවක විසින්  ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 10/22 දින රාත්‍රී  කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි ඇය 42 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් වන අතර , ඇය එරට රෙදිපිළි වෙළෙඳාමේ නිරත වන්නියක් බව මූලික රේගු විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන මුළින්ම  ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරින් ගමන් අරඹා  කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ . ඉන්පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් 10/22 දින පස්වරු  04.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

ඇය මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 598 ක් බරැති  මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂම ලෙස , ඝනකම සහිත ඉංග්‍රීසි ළමා කතන්දර පොත් පිටකවර කපා , සකස් කර , ඒ තුළ බහා , සිය ගමන් මලු තුළ සගවා ගෙන  රැගෙන විත් තිබුණි .

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම වසර තුළ  කටුනායක ගුවන් තොටුපොළ තුළ සිදු  කළ පස් වැනි කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම මෙය බව උසස් රේගු නිලධාරීවරයෙකු මේ අතර පැවසීය .

 මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දුනීසියානු ජාතික කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ 



Recommended Articles