හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවා විශ්‍රාම වයස වැඩි කරන්නැයි ඉල්ලයි


හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවාවලට අදාළව පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වී  තිබෙන නිසා විශ්‍රාම යමේ වයස අවුරුදු 63 ක් දක්වා  දිර්ඝ කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින  බවට ප්‍රකාශ කර මේ වන විට වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 63 දක්වා දීර්ඝ කර තිබෙන බවද එම සන්ධානය පෙන්වා දෙයි.

මේ නිසා හෙද,පරිපුරක,අතුරු වෛද්‍ය සේවාවල අදාළ සේවක පුරප්පාඩු සම්පූර්ණ කරන තෙක් විශ්‍රාම යාමේ වයස අවුරදු 60 සිට 63 දක්වා ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාට සංදේශයක් භාර දීමට කටයුතු කරන බවද  සන්ධානය සඳහන් කරයි.

රෝග ප්‍රතිකාර සේවා හා රෝග වළක්වා ගැනීමේ කටයුතුවලදී වෛද්‍යවරුන් සේම අනෙකුත් සෞඛ්‍ය කාර්මණ්ඩලවල සේවාව ඉතා වැදගත් වන බවත්, මෙම සේවාවල පවතින පුරප්පාඩු සැලකීමේදී රෝහල් කටයුතු සිදුකිරිමේ ගැටලු රැසක් ඇති වී තිබෙන බවත් පෙන්වා දෙයි.

මේ  මස 31 වැනි දින වන විට හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවලට අදාළව සැලකිය යුතු පිරිසක් වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම යාමට නියමිතව තිබෙන බවත්, මේ නිසා දැනට පවතින පුරප්පාඩු ප්‍රමාණය ලබන වසරවන විට තවත් ඉහළ යන බවත් එම සන්ධානය සඳහන් කරයි.

 



Recommended Articles