හිටපු සෞඛ්‍ය ඇමතිට කෝප් කමිටුවෙන් එන චෝදනාව


2022 වසරේදී, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව පෞද්ගලික සමාගමකට ඖෂධ වර්ග 38 ආනයනය කිරීමට ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික නිකුත් කරලා - කෝප් කමිටුවේදී අනාවරණය වෙයි
 
පෞද්ගලික සමාගම තෝරාගැනීමට උපදෙස් ලබා දුන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයායි - කාරක සභාවේදී අනාවරණය වෙයි
 
2022 වසරේදී ලැබීමට නියමිතව තිබු ඖෂධ වර්ග, ශුන්‍ය මට්ටමකට ලඟා වී ඇති ඖෂධ වර්ග ලෙස හුවා දක්වමින් ඒවා ආනයනයට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා
 
ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව 2022 වසරේදී පුද්ගලික සමාගමකට ඖෂධ වර්ග 38 ආනයනය කිරීම සඳහා ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික නිකුත් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. එමෙන්ම මෙම පුද්ගලික සමාගම මෙලෙස ඖෂධ ආනයනය කිරීම සඳහා තෝරාගැනීමට උපදෙස් ලබාදුන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා බව හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාවට දන්වා සිටියේය.
 
මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2022, 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 26 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
 
2022 වසරේ දෙසැම්බර් මාසේ 30 ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනායාචිත යෝජනා හරහා ඉදිරිපත් වූ ඖෂධ වර්ග 38 ආනයනය කිරීම පුද්ගලික සමාගමක් වෙත ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික නිකුත් කර ඇත්තේ ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව බව කාරක සභා සභාපතිවරයා සභාව දැනුවත් කළේය.
 
එම ඖෂධ වර්ගවල ගුණාත්මක බව, ආරක්ෂාකාරී බව හා ප්‍රත්‍යක්ෂ බව (Quality, Safety, efficacy) සඳහා වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමේ අරමුණ බවත් වෛද්‍ය සැපයුම් අංශයට එය භාරදිය නොහැකි බවත් පවසමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය එහි වගකීම අත්හැර දමා ඇති බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය.
 
එහිදී අදහස් දැක්වූ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, තමන් සඳහා ලැබුණු අදාළ ඉල්ලීම, විශේෂ ක්‍රමවේදයකට (Special pathway) ඖෂධ ආනයනය කිරීම යටතේ පුර්ව අනුමතියක් සහිතවම වීම හේතුවෙන්, නිසි ඇගයීමක් සිදු නොකර අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ සඳහා අවසර ලබාදීමට නොහැකි බැවින් වගකීම බාරනොගත් බව පැවසුහ.
 
ඒ අනුව මේ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර , එහිදී මාස 3ක් සඳහා හිඟ ඖෂධ ආනයනය කිරීම සඳහා පුද්ගලික සමාගම තෝරාගැනීමට උපදෙස් ලබා දීම සිදු කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා බව කාරක සභාවට අනාවරණය විය.
 
මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2022 සැප්තැම්බර් 26 දිනැති ව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළ දින සිට ඉදිරි සති 3ක් කාලය තුළ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් ශුන්‍ය මට්ටමකට ළඟාවිය හැකි බව සඳහන් වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසා සිටියේය.
 
ඊට පිළිතුරු ලබාදුන් නිලධාරීහු ඖෂධ වර්ග සම්බන්ධයෙන් පවතින දත්ත පද්ධතියෙන් ලබාගත් තොරතුරු අනුව එම තොරතුරු අමාත්‍ය මණ්ඩල සංදේශයට එක් කර ඇති බව පැවසූහ. කෙසේ වෙතත් එලෙස එකවර ඖෂධ වර්ග විශාල සංඛ්‍යාවක් ශුන්‍ය මට්ටමකට ලඟාවීම පිළිගත නොහැකි බවත් එලෙස ශුන්‍ය මට්ටමකට පැමිණෙන තෙක් ආදාළ වගකිව යුතු නිලධාරීන් වගකීම් විරහිත කටයුතු කර ඇති බවත් සභාපතිවරයා මෙහිදී පැවසුවේය.
 
එහිදී අදහස් දැක්වූ විගණකාධිපතිවරයා, පෙර ඇණවුම් කර ලැබීමට නියමිතව තිබු ඖෂධ වර්ගද , ශුන්‍ය මට්ටමකට ලඟා වී ඇති ඖෂධ වර්ග ලෙස හුවාදක්වමින් එම ඖෂධ ද ආනයනයට කටයුතු කර ඇති බව ප්‍රකාශ කළේය.
 
මේ අනුව මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් කිරීමට සම්බන්ධ වූ නිලධාරීන් කවුද යන්න පිළිබඳව පුර්ණ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම මෙම ඖෂධ වර්ග ආනයනය සම්බන්ධයෙන් පුර්ණ වර්තාවක් කාරක සභාව මගින් සකස් කර පාර්ලිමේන්තුව යොමු කරන බවත් ඉන් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ලබන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.


Recommended Articles