හිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබන සතියේදී ඉවතට


හිටපු ජනපතිවරුන්ට ලබාදී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබන සතියේදී ඉවත් කරන බවත් හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව මාස හයකට වරක් තක්සේරු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පොලීස් නිලධාරීන් 60ක් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 228ක් ආරක්ෂාව ලබා දී ඇති බවත්  ඒ වෙනුවෙන් මාස 11 හමාරක කාලය තුළ රුපියල් මිලියන 710ක වැය බරක් දරා ඇත.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොලීස් නිලධාරීන් 60ක් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 4ක් ආරක්ෂාව ලබා දී ඇති බවත්  ඒ වෙනුවෙන් මාස 11 හමාරක කාලය තුළ රුපියල් මිලියන 207ක වැය බරක් දරා ඇත.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොලීස් නිලධාරීන් 22ක් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 188ක් ආරක්ෂාව ලබා දී ඇති බවත්  ඒ වෙනුවෙන් මාස 11 හමාරක කාලය තුළ රුපියල් මිලියන 367ක වැය බරක් දරා ඇත.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පොලීස් නිලධාරීන් 60ක්  ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 57ක් ආරක්ෂාව ලබා දී ඇති බවත්  ඒ වෙනුවෙන් මාස දෙකක කාලය තුළ රුපියල් මිලියන 82ක වැය බරක් දරා ඇත.

හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පොලීස් නිලධාරීන් 60ක් වෙනුවෙන් මාස 11 හමාරක කාලය තුළ රුපියල් මිලියන 110ක වැය බරක් දරා ඇත.

හේමා ප්‍රේමදාස මහත්මියට පොලීස් නිලධාරීන් 10කගේ ආරක්ෂාව ලබා දී ඇති අතර මාස 11 හමාරක වැය බර රු.මි. 32කි.

මේ අනුව හිටපු ජනපතිවරුන් වෙනුවෙන් මාස 11 හමාරක කාලයක් තුළ රුපියල් මිලියන 1448ක් ආරක්ෂක වියදම් ලෙස දරා ඇති බවත් සිදුකරනු ල බන සංශෝධන අනුව ලබන වසරේදී මෙම වියදමින් රුපියල් මිලියන 1200ක් පමණ ඉතිරි කර ගැනීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජයක වගකීම හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව බලා ගැනීම පමණක් නොවන සමස්ත ජනතාවගේම ආරක්ෂාව බලා ගැනීම බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.



Recommended Articles