හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප


වැලි කැනීමේ බලපත්‍රයක් දීමට රුපියල් ලක්ෂ 15 අල්ලසක් ඉල්ලා ලබාගැනීම සඳහා සිය පුද්ගලික ලේකම්වරයාට ආධාර අනුබල දුන් බවට මාසයක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවා සිටි හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස් වියලේන්ද්‍රන් මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියට අද (08) නියම කළාය.

රුපියල් 50,000/-ක මුදල් සහ රුපියල් ලක්‍ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් පස්දෙනකුගේ ශරීර ඇප මත සැකකරු මුදාහැරීමටට නියම කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණයේ අවසරයකින් තොරව සැකකරුට විදේශ ගතවීම තහනම් කළාය.

මහවැලි අධිකාරියේ බී කලාපයේ වැව් වලින් ලබා ගන්නා රොන් මඩ සහිත වැලි කැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මාර්ගයෙන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා අල්ලස් ඉල්ලා ලබාගත් බවට හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් මහතාගේ පුද්ගලික ලේකම්වරයාට සහ තවත් අයෙකුට එරෙහිවද ඊට ආධාර අනුබල දුන් බවට වියලේන්ද්‍රන් මහතාටද එරෙහිව අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කෙරිණී.

හිටපු ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා වන මඩකලපුවේ යෝගනාදන් රොස්මන් සහ කෞතිකිරන් ප්‍රදීපන් නමැති සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මීට පෙර අවස්ථාවක ඇප නියම කර ඇත.

වැලි කැනීමේ බලපත්‍රයක් දීමට රුපියල් ලක්ෂ 15 අල්ලසක් ඉල්ලා ලබාගැනීම සඳහා සිය පුද්ගලික ලේකම්වරයාට ආධාර අනුබල දුන් බවට වියලේන්ද්‍රන් මහතාට එරෙහිව කරන විමර්ශන වලට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී බන්ධනගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ නිලධාරීහු සිද්ධියට අදාළව කළ විමර්ශන සම්බන්ධ වාර්තාවක් ගොනු කරමින් සැකකරු සම්බන්ධයෙන් කළ මූලික විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කීය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් සිද්ධියය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයා සුදුසු ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුට ඇප නියම කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය ජුනි 24 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළාය.

සචිත්‍ර ගුණසේකර

 



Recommended Articles