හාල් මිල අඩුකරන්න පාන් පිටි මිල අඩුකරන්න


පාන් පිටි මිල අඩු කළහොත් පාන් මිල අඩු කළ හැකි බැවින්  එමගින් ඉබේටම හාල් මිල පාලනය වනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කරයි.

රටේ ජනතාවට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ බත්, වුවද ආර්ථික අපහසුතා හේතුවෙන් වෙනත් විකල්පයකට යාමේදී සඟවා ඇති සහල් තොග එළියට ගෙන ඒමට සිදු වන බවද එමගින් සහල් මිල අඩු වීම හේතුවෙන් බත් පරිභෝජනයට ජනතාවට අවශ්‍ය වට පිටාව සකස් වන බවද ඒ මහතා පෙන්වා දෙයි.

හාල් මාෆියාව මෙන්ම පාන් පිටි මාෆියාවක්ද පවතින බව පෙන්වා දෙන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ මේ වන විට සෑම අංශයකම මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි. උදාහරණ ලෙස බිත්තර සඳහාද පවතින්නේ මාපියාවක් බව හෙතෙම පෙන්වා දෙයි. 

හාල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම හේතුවෙන් ප්‍රායෝගික විකල්ප භාවිත කර එය, මැද මාවතකට ගෙන ඒම කළ යුතු දෙයක් බවත් හාල් වෙනුවට පාන් පිටි සහ පාන් පරිභෝජනයට  ජනතාව හුරු කිරීමක් මෙයින් අදහස් නොකරන බවත් ජයවර්ධන මහතා අවධාරණය කළේය. 

එහෙත් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මාෆියා මගින් ක්‍රියාත්මක කිරීම පාලනය කිරීමට  අවශ්‍ය වක්‍ර ක්‍රමෝපයායන් ඇති බැවින් හාල්මිල මැද මාවතකට ගෙන "බත්" බුත්ති විදීමට ජනතාවට අවස්ථාව උදා කිරීමට පාන් පිටි මිල අඩු කිරීම සහ පාන් මිල අඩු කිරීම තුළින් සිදු කළ හැකි බවද, මෙමඟින් පාන්පිටි මාෆියාව නැති කිරීමටද සාධනීය පියවරක් ගත හැකි බවද ඒ මහතා තව දුරටත් අවධාරණය කළේය. 



Recommended Articles