හන්තාන වතු යායේ වතු අධිකාරී හා සහකාර වතු අධිකාරී අල්ලයි


ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතු යායේ අධි සංවේදී පරිසර කලාපයට අයත් කොටසේ ගස් 90ක් නීති විරෝධීව කපා ඉවත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වතුයායේ වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පදිංචිකරුවකු සහ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය කියයි.

හන්තාන වතු යායේ අධි සංවේදී පරිසර කලාපයේ ඇති වැටුණු ගස් සහ මැරුණු ගස් ඉවත් කිරීමේ ටෙන්ඩරයක් ලබාගෙන පසුගිය වසරේ ඔක්තෝම්බර් සහ දෙසැම්බර් කාලය අතරතුර මෙම මහා පරිසර විනාශය සිදුකොට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම නීති විරෝධී පරිසර විනාශය අනාවරණය වීමත් සමග ජනතා වතු සංවර්ධන මණ්ඩලය මගින් අදාළ වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයාගේ වැඩ තහනම් කොට තිබූ අතර ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නීති අංශය මගින් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කොට තිබුණි.

ඒ අනුව පරිසර අධිකාරිය ඇතුළු ඊට අදාළ අනෙකුත් සියලු රජයේ ආයතනවල වාර්තා කැඳවා සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එම වතුයායේ තිබූ ඉතා වටිනා සපු, ටූනා, ඇල්බීසියා හා සබුක්කු ගස් 90ක් පමණ කපා ඉවත් කොට ඇති බවට එම විමර්ශනයේදී අනාවරණය වී තිබූ අතර වතු යායේ ඇති වැටුණු ගස් සහ මැරුණු ගස් කිසිවක් ඉවත් කොට නොමැති බවද අනාවරණය වී තිබුණි.



Recommended Articles